Saturday, May 18, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිත බවට සැක විදේශ නාවිකයෙකු ගොඩබිමට රැගෙන එයි (PHOTOS)




ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අළුයම් කාලයේදී කටයුතු කර තිබෙනවා.

ලයිබීරියානු සමාගමකට අයත් බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ  හේතුවෙන් ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා ලෙස ආදල නෞකාව වෙත සේවාවන් සපයන දේශීය සමාගම වන MSC ලංකා මගින් කොවිඩ් 19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධයස්ථානය වෙතින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෟජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදාව විසින් වයස අවුරුදු 36 ක් වන සෝලිස් රයන් මාගන් (Solis Ryan Magan) නම් පිලිපීන ජාතිකයෙකු මෙලෙස කොළඹ වරාය වෙත අද ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදි.

මෙහිදී, කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 05 ක‍් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී පුද්ගලයා (01) සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද අතර, පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.