Friday, May 10, 2024

General line - 0115112241

නයිට් ක්‌ලබ් ගිය කොරියන් ගුරුවරයාට කොරෝනා : සිසුන් 06 දෙනෙක්ටත් වෛරසය බෝ කරලා




දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ශාලාවක් කේන්ද්‍ර කර ගනිමින් ඇතිව තිබෙන කොරෝනා වෛරස "පොකුර" හේතුවෙන් මේ වන විට ආසාධිතයින් 119ක් සොයා ගැනීමට එරට සෞඛ්‍ය බලධාරින් සමත්ව තිබෙනවා.

දකුණු කොරියාවේ, සියෝල් අගනුවර පිහිටි Itaewon රාත්‍රී සමාජ දිස්ත්‍රික්කය තුල මිට දින කිහිපයට පෙර කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා වීමත් සමග එරට සෞඛ්‍ය බලධාරින් එම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් PCR පරීක්ෂණ 20,000ක් පමණ සිදුකරනු ලැබුවා.

එම පරීක්ෂණ වලදී හෙළිවූ එක් රෝගියෙක් සම්බන්ධයෙන් එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කිම් ගාන්ග්-ලිප් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී හෙළි කර සිටියා.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වූ Incheon ප්‍රදේශයේ පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් ඔහු ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් තොරතුරු සැඟවීමට ක්‍රියා කළ බවයි.

කෙසේ වුවත් GPS තාක්ෂණය ඔස්සේ එම පුද්ගලයාගේ ගමන් බිමන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළිවූ කරුණු මත සිදුකළ පරීක්ෂණ වලින් ඔහුගේ ආශ්‍රිතයින් 08 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරැ කර ගෙන තිබෙනවා.

මෙලෙස තහවුරු කර ගනු ලැබූ පුද්ගලයින් 08 දෙනාගෙන් 06 දෙනෙක් පාසල් දරුවන් බවයි හෙළිව ඇත්තේ.

එම පිරිසෙන් දෙදෙනකු ඉකුත් සති අන්තයේදී පැවති ආගමික දේව මෙහෙයන් වලටද සහභාගිවී ඇති බවටද තොරතුරු හෙළිව ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියා.

මෙම ටියුෂන් ගුරුවරයා තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට එහිදී ඔහු වරදකරු වුවහොත් වසර දෙකක සිර දඬුවම් නියම වීමට ඉඩ ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියා.

මෙම කොරෝනා වෛරසය ව්‍යාප්තිය පටන් ගත් රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව සිටිය බවට පුද්ගලයින් 10,905 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඒ ඔවුන්ගේ දුරකථන ආශ්‍රිතයෙන් සිදුකළ විමර්ශනයකදීය. එලෙස හඳුනා ගනු ලැබූ පුද්ගලයින් ගෙන් සීයයට 11ක් විදේශිකයින් ද වනවා.

කෙසේ වුවත් එම පිරිසට PCR පරීක්ෂණ සඳහා පෙනී සිටිමට ඉදිරිපත් වන ලෙස දන්වමින් සියෝල් නගර බලධාරීන් විසින් ඔවුන්ගේ දුරකථන වලට කෙටි පණිවිඩ යොමු කොට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ වන විට දකුණු කොරියාවේ කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 10,962ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 259ක් වනවා.