Wednesday, May 15, 2024

General line - 0115112241

පෙත්සම් විභාගය අද 03වැනි දිනටත් - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාත් සටනට




දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය, සිය නීතිඥවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. 

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහිදී කියාසිිටියේ කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බවයි. 

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ස්වාධිපත්‍යය බලය හා ජන්ද අයිතිය වෙනුවෙන් කැපවන බව මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වයක් යටතේ ඇති සෞඛ්‍ය අවදානම හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උපදේශන මාලාවක් සෞඛ්‍ය අංශ සමග එක් වී මේ වන විට සකස්කරමින් සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ. 

මාර්තු මස 17 සිට 20 දා තෙක් විශේෂ නිවාඩු දින වල නාමයෝජනා කැදවීමට අදාළව එම අවස්ථාවේ කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව නොතිබූ බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල්, වෙනම නිතීඥවරයෙකු මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නාමයෝජනා විශේෂ නිවාඩු දින වල කැදවීම විවේචනය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර මැතිවරණය කල් තබන ලෙසට තමා ගොනු කළ පෙත්සමෙන් කළ ඉල්ලීම මේ වන විට ලැබී ඇති බැවින් සිය පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නීතිඥ චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.සුමන්දිරන් මෙහිදී ප‍්‍රකාශ කළා. 
    
මෙම අදහස් පළ වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දිනයේද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවූ අවස්ථාවේදීයි. එහි වැඩිදුර සලකා බැලීම හෙට දිනට කල් තැබීමටයි අද නියෝග කෙරුණේ.

අද දිනය අවසන් වන විට වග උත්තරකාර පාර්ශ්වයක් ලෙසට නම් කර තිබු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සිය වාචික දේශන අවසන් කළා. 

එහිදී ඔහු පවසා සිටියේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව යළි කැදවීමේ ප‍්‍රතිපාදන ඇත්තේ හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ බවත් මේ අවස්ථාවේ රටේ පවතින්නේ සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දැනට පවතින නීති ප‍්‍රතිපාදනයක් වන නිරෝධන පනත වැනි අන පනත් යටතේ මෙම සෞඛ්‍ය ප‍්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී තිබෙනවා. 

එබැවින් මෙම සියලූ‍ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල අරමුණ මැතිවරණය කල් තැබීම බවත් ඒ හේතුවෙන් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙසත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා සිටියා.

මේ අතර ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, මෙම පෙත්සම් වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා. 

මෙම පෙත්සම් වලට දේශපාලන පක්ෂ සම්බන්ධ වුවත් කිසිදු දේශපාලන පක්ෂයක් පෙත්සම් වල පාර්ශ්වයන් ලෙසට නම් කර නොමැති බවයි ඔහු එහිදී පැවසුවේ. තවද මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ යුතු කාල සීමාව පසුකරමින් බවද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.