Wednesday, May 15, 2024

General line - 0115112241

"කැඳවීමට පාර්ලිමේන්තුවක් නොමැත" - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද (21) පෙරවරු 10:10 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේ දී ආරම්භ කෙරුණා.  

එහිදී ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පාර්ලිමේන්තුව වසර හතර හමාරක් ගතවීමෙන් පසු විසුරුවා හැරිය හැකි බව ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එසේ විසුරුවා හැරීමෙන් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන බවත් එවැනි අවස්ථාවකදී කැඳවීමට පාර්ලිමේන්තුවක් නොමැති බව ද රොමේෂ් ද සිල්වා පවසා සිටියා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව එකම ක්‍රියාවලියක් ලෙසට ඉදිරියට සිදු වී ඇති බවත් ඒ අනුව නාමයෝජනා කැදවීමට, නුසුදුසු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම ඇතුළු ක්‍රියාවලි සිදු වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.

ඒ අනුව රටේ උද්ගත වී ඇති තත්ත්වය අනුව මැතිවරණය කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවත් එය මැතිවරණ ක්‍රියාවලියේම කොටසක් බව රොමේෂ් ද සිල්වා පවසා සිටියා. 

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් විසින් මැතිවරණ දිනය වෙනස් කළ පමනින් ජනාධිපතිවරයා මුලින් නිකුත් කළ ගැසට් නිවේදනය පෙත්සම්කරුවන් පවසන අන්දමට අවලංගු නොවන බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා.

මැතිවරණය මේ අවස්ථාවේ කල් දමා ඇති බවත් කොමිෂන් සභාව පවසන අන්දමට යළි මැතිවරණය පැවැත්වීමට දින 60 ට වඩා අවශ්‍ය නොවන බවත් අවශ්‍ය නම් එය මාස එක හමාරක කාලයක් තුළ පැවැත්විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. 

කල් ඉක්මවා ගිය පරණ පාර්ලිමේන්තුව යළි කැදවූවොත් එය මහජනතාවගේ ස්වාධිපත්‍යයට බරපතළ හානියක් බව රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් පවසා සිටියා.