Sunday, May 19, 2024

General line - 0115112241

ඉස්ලාම් බැතිමතුන් අද නිවෙස්වල සිටම රාමසාන් සමරයි

ප්‍රියංකර කළුපහන - පුත්තලම




මෙරට ඉස්ලාම් ජනතාව අද (24) රාමසාන් දිනය සමරනවා. ඊයේ (23) රාත්‍රියේ නව සඳ දැකීමත් සමග අද දිනයේ රාමසාන් උත්සවය සමරන බවට කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමග රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන මෙරට ඉස්ලාම් බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිරිනමන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රාමසාන් දින පණිවුඩයේ දැක්වෙන්නේ.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළඹෙන ඊදුල් ෆීතර්, ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයක් බව ද එම පණිවුඩයේ සඳහන්.

ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුළුණු පහෙන් එකක් වන අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීමයි.

ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමතුන් සලකන බව ද එම පණිවුඩයේ දැක්වෙනවා.

අතිශය සංකීර්ණ එමෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණ දී සිටින මෙවන් වකවානුවක සහනශීලි වටපිටාවක් නිර්මාණය කර ගත හැකිවන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් බව රාමසාන් සමය සමාජයට දෙන පණිවිඩයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වුණා. එම සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ තැබිය යුතු නැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. අන්තවාදී අදහස් ඉස්ලාම් දහමේ හරයට පසමිතුරු බව සැබෑ ඉස්ලාම් භක්තිකයාගේ පිළිගැනීමයි.

එබැවින්, මෙම රාමසාන් සමයේ අවිශ්වාසය, සැකය දුරු කර ශුද්ධ අල් කුරානයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කර ගත යුතු බව තමන් විශ්වාස කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ලොව පුරා ඉස්ලාම් ලබ්ධිකයින්ට ප්‍රීතිමත් ඊදුල් ෆීතර් උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ රාමසාන් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය හමුවේ ඉස්ලාම් භක්තිකයින් මෙවර උදාවූ රාමසාන් උත්සවය නිවසේ සිට සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සැමරීම සිදු කරනවා.