Thursday, May 2, 2024

General line - 0115112241

උතුරු මැද රෝහල් කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම්




උතුරු මැද පළාතේ රෝහල් කඩිනමින් සංවර්ධනය කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡුාවක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද පැවැත්වුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ගේ ප‍්‍රධානත්වයෙන් උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ ද සහභාගීත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වුණා.

උතුරුමැද පළාතේ ස්ථාපිත මූලික රෝහල් ගණන 08ක්. ඒ අතරින් හිඟුරක්ගොඩ, පදවිය, තඹුත්තේගම, කැඹතිගෝල්ලෑව සහ මැදිරිගිරිය යන රෝහල්වල වකුගඩු රෝගීන් සඳහා වන රුධිර කාන්දුකරණ ඒකකයන්හි ගැටලූ පවතින බව සාකච්ජාවේදී අනාවරණ වුණා. ඇතැම් රෝහල්වල රුධිර කාන්දුකරණ ඒකකයන්හි ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය නොමැති බවයි එහිදී  ප‍්‍රකාශ කෙරුනේ. තවත් සමහර රෝහල්වල ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය අකර්මණ්‍ය වී තිබෙනවා. ඒ අනුව කඩිනමින් මෙම ගැටලූ විසඳාලීමට පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ.

මීට අමතරව උතුරු මැද පළාතේ රුධිර කාන්දුකරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 06ක් ද වනවා. ඒ සඳහා වෙන වෙනම වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු බැගින් කඩිනමින් ලබා දීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ.