Tuesday, May 7, 2024

General line - 0115112241

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සැකකරුට ගමන් පහසුකම් සැලසූ කොස්තාපල් අත්අඩංගුවට




පාතාල සාමාජිකයෙකුට ප‍්‍රවාහන පහසුකම් සැපයූ බව කියන තලංගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  වැලිගම, මිරිස්ස ධීවර වරාය ආසන්නයේදී ඉකුත් 30 වැනිදා අමිල ප‍්‍රසංග හෙට්ටිගේ නොහොත් සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වන අතුරිගිරියේ ආර්මි ජෙරමිට ප‍්‍රවාහන පහසුකම් සැපයූ බවටයි අදාළ පොලිස් කොස්තාපල්වරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

ආර්මි ජෙරමි නැමැත්තාට අතුරිගිරියේ සිට මිදිගම දක්වා පැමිණීමටත් නැවත මිදිගම සිට අතුරිගිරිය දක්වා යාමටත් සැකකරු විසින් සිය මොටර් රථයෙන් ප‍්‍රවාහන පහසුකම් සලසා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් සන්ෂයින් සුද්දා බේරී ඇත්තේ ආර්මි ජෙරමිගේ ගිනි අවිය අක‍්‍රීයවීමෙන් බව ද මූලික පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ආර්මි ජෙරමි නැමැත්තා ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම සැකකරුට ප‍්‍රහාහන පහසුකම් සැලසීමට හා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු වැලිගම පොලිසිය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පාතාල සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා විසින් මෙම වෙඩි තැබීමේ කොන්ත‍්‍රාත්තුව භාර දී ඇති බවයි අනාවරණය වන්නේ. ඊට හේතු වී ඇත්තේ අංගොඩ ලොක්කා පාකිස්ථානයෙන් ගෙන් වූ හෙරොයින් සම්බන්ධයෙන් සන්ෂයින් සුද්දා විසින් ඔත්තුවක් ලබාදීම බව ද අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.