Friday, May 3, 2024

General line - 0115112241

පාස්කු දින උදෑසනත් ප‍්‍රහාරය ගැන ලැබුණු තොරතුරු ගැන ජනපති කොමිසමේදී හෙළි වෙයි




කතෝලික දේවස්ථාන ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වන බවට, පාස්කු ප‍්‍රහාරයට පෙරදින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් තමන්ට නිශ්චිත තොරතුරු ලැබුණු බව, එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ අනාවරණයක් සිදුකර තිබෙනවා. ඒ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේදීයි. ඊයේ දිනයේ් පෙරවරු 10ට ආරම්භ වූ සාක්ෂි විමසීම අවසන් වී ඇත්තේ මධ්‍යම රාති‍්‍ර 12.00ට පමණයි. එහිදී උදෑසන 10.00 සිට රාති‍්‍ර 7.00 පමණ වනතෙක් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පැය 9කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදී තිබෙනවා. 

එහිදී කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු සදහන් කර ඇත්තේ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, තමන් අමතා රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් අදාළ බුද්ධි තොරතුරු ලබාදුන්නේද යන්න තමාගෙන් විමසු බවයි. තමන් එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා කතා කළ බව ප‍්‍රකාශ කළ බවත්, පසුව පූජිත් ජයසුන්දර, ‘‘එහෙනම් හරි’’ යනුවෙන් තමන්ට දුරකතනයෙන් ප‍්‍රතිචාර දැක් වූ බවයි සාක්ෂි කොමිසම හමුවේ සාක්ෂිකරු සදහන් කර ඇත්තේ. පසුව පාස්කු ප‍්‍රහාරය එල්ලවීමට පෙර එදින උදෑසන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ට ඇමතුමක් ගත් බවද සාක්ෂිකරු සදහන් කළා. ඒ ප‍්‍රහාරය එල්ලවීමට සුලූ මොහොතකට පෙර පෙරවරු 8.20ට පමණයි. 

එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා කොල්ලූපිටිය මෙතෝදිස්ත දේවස්ථානයට සහ කටාන සහ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ කතෝලික දේවස්ථාන දෙකක් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු තමන් වෙත නිශ්චිතවම දැනුම් දුන් බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කර ඇත්තේ.

පසුව කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ එලෙස දේවස්ථානවලට ප‍්‍රහාර එල්ල වන බවට පාස්කු ඉරුදින පෙරවරුවේ නිශ්චිත තොරතුරු ලැබි තිබියදීත්,  එම දේවමෙහෙයන් නැවැත්වීමට කටයුතු නොකලේ ඇයි දැයි යන්නයි. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ප‍්‍රකාශ කළේ දේවමෙහෙයන් නැවැත්විමට කටයුතු නොකළ බවයි. එහෙත් එලෙස දේව මෙහෙයන් නැවැත්වීමට කටයුතු කළේ නම් හොද යැයි, තමාට දැන් සිතෙන බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා. එහෙත් එලෙස කතෝලික දේවස්ථානවල දේවමෙහෙයන් නවතා දැමීමට කටයුතු කර, පිපිරීමක් සිදු වූයේ නැතිනම් දේව මෙහෙයන් කඩා කප්පල් කිරිමට කටයුතු කළ බවට වන චෝදනාව පොලිසියට එල්ල වන්නට තිබූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කර ඇත්තේ. 

මෙම තොරතුරු සියල්ල සම්බන්ධයෙන් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර ද දැනුවත් බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන් වෙත ප‍්‍රකාශ කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා. එවන් පසුබිමක ඉහළ නිලධාරීන්ට ද ප‍්‍රහාරය වළක්වා ගැනිමට කටයුතු කිරීමේ හැකියාව තිබූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ. 

එහිදී කොමිසම සාක්ෂිකරුට සදහන් කර ඇත්තේ සාමාන්‍යයෙන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවතියහොත් අධිකරණ නියෝගයක් ලබාගෙන එය නතර කිරීමට පොලිසිය කටයුතු කරන බවයි. එහෙත් මෙවැනි ප‍්‍රහාරයක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගත්තේ මන්දැයි, කොමිසම යළි සාක්ෂිකරුගෙන් විමසුවා. 

එහිදී සාක්ෂීකරු සදහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා මේ සම්න්ධයෙන් එවක පොලිස්පති පුජිත් ජයසුන්දර දැනුවත් කර තිබූ බැවින් එය තමන්ගේ කාර්යයභාර්යක් නොවන බවයි. ඒ සදහා ඉහළින් නියෝග ලැබිය යුතු බවද සාක්ෂිකරු වැඩිදුරටත් කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා.

එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඊයේ රාති‍්‍ර 09.50 ට පමණ එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ එවක රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අජිත් රෝහණයි. .