Friday, May 3, 2024

General line - 0115112241

නිදහස් චතුරශ්‍රය අසලින් හමුවූ මියගිය පුද්ගලයා ලියු අවසන් ලිපිය : රැකබලා ගත් තැනැත්තියට රුපියල් මිලියනයක් බැංකු පොතට දාලා 




කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී වෙඩි තබා ගෙන සියදිවි හානිකර ගෙන සිටියදී සොයා ගනු ලැබූ 64 හැවිරිදි ව්‍යාපාරිකයා තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලද අවසන් ලිපිය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බවද එහි සඳහන් කොට තිබෙනවා.

එම ලිපියේ ඇති කරුණු අනුව තමන්ට ඇතිවී තිබෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් සියදිවි නසා ගන්නා බවටයි ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

සිය නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ තැනැත්තිය තමාව රැකබලා ගැනීම උදෙසා ඇය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවත් කොවිඩ් 19 වසංගතය මර්ධනය සඳහා පිහිටුවා ඇති ජනාධිපති අරමුදලට ද රුපියල් ලක්ෂ 05 ක මුදලක් බැර කළ බවට එම ලිපියෙහි කරුණු සඳහන් කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

2019/20 වර්ෂය සඳහා පියවීමට ඇති ආදායම් බදු ද තමන් විසින් ගෙවා ඇති බවත් සිය අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් පියවීමට උත්සහ කලද එය සිදුකළ හැක්කේ වයස අවුරුදු 70 කට වඩා වැඩිනම් පමණක් බැවින් එය පියවීමට තමන්ට නොහැකි වූ බව ද ඔහු සිය ලිපියේ සඳහන් කොට තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රජීව් ජයවීර නම් වන අයෙක් වන අතර ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු කළමණාකරුවෙක් මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කළ අයෙක් වනවා.

තමන් විසින් සියදිවි නසා ගැනීම සඳහා යොදා ගනු ලැබූ ගිනි අවිය රුපියල් 151,500 ක මුදලකට මිලදී ගත් බවටද එම ලිපියෙහි සඳහන් කොට ඇත.

කෙසේ වුවත් මෙම ලිපියේ අඩංගු කරුණු සහ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.