Friday, May 3, 2024

General line - 0115112241

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය යළි ඇරඹේ




කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව, සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයට යටත්ව යළි ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 22 වනදා සිට අදියර කිහිපයක් යටතේ එම සේවාව යළි ආරම්භ කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

එම දෙපාර්තමේන්තු පරිශ‍්‍රය වෙත එකවර විශාල පිරිසක් රැස්වීමේ අවදානම සලකා බලා සීමිත ඉල්ලූම්කරුවන් පිරිසකට විශේෂ වැඩපිළිවෙළක් යටතේ හැඳුනුම්පත් නිකුත් කිරිමට සැලසුම් කර තිබෙනවා. එහි පළමු අදියර යටතේ බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේදී දිනකට පුද්ගලයින් 250 දෙනෙකුට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතයි. ගාල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාලය මගින් දිනකට ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙන්නේ පුද්ගලයින් 50 දෙනෙකුට පමණයි. 

ඒ අනුව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් තම ඉල්ලූම්පත, සිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා  මගින් සහතික කර, අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමුකළ යුතු වනවා. 

ඉන්පසුව ඉදිරි කාර්යාලයීය දින 10 ඇතුළත තමන්ට පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් සඳහා වෙන්කළ අංකයක් ඉල්ලූම්කරු විසින් ලබාගත යුතුයි. එලෙස ලද නියමිත දිනයේදී හෝ නියමිත වේලාවේදී පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට පැමිණීමට ඉල්ලූම්කරු අපොහොසත් වුවහොත්, අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වෙනත් දිනයක් ලබාගත යුතු බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

එම දෙපාර්තමේන්තු පරිශ‍්‍රයට පැමිණෙන සියලූම පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපැදිය යුතු අතර මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය වනවා. එසේම උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, හිසරදය වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ලබාගැනීම සඳහා නොපැමිණෙන ලෙසයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.