Friday, May 3, 2024

General line - 0115112241

පාස්කු ප‍්‍රහාරයේ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපි නොසලකා හැර ඇති බවට ජනපති කොමිසමේදී අනාවරණයක්




පාස්කු ප‍්‍රහාරය පිළිබදව ලැබුණු බුද්ධි තොරතුරු ඇතුළත් ලිපි සම්බන්ධයෙන් එවක පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (11) අනාවරණයක් සිදුකළා. ඒ, එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. 

ඊයේ් රාති‍්‍ර 9 යි 50ට පමණ සාක්ෂි ලබාදිම ආරම්භ කළ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉන් පිටව ගියේ මධ්‍යම රාති‍්‍ර 12ට පමණයි. ඉකුත් වසරේ අපේ‍්‍රල් මස 10, 11 සහ 12 යන තෙදින කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිවාඩු ගොස් සිටි බැවින් තමන් ඔහු වෙනුවෙන් රාජකාරි ආවරණය කළ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කර ඇත්තේ.

සහරාන් ඇතුළු පිරිසක් ප‍්‍රසිද්ධ කතෝලික පල්ලිවලට සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල කළ හැකි බවට වු තොරතුරක් එම වසරේ අපේ‍්‍රල් මස 11 වන දින පස්වරුවේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු බවද, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා. එහි සඳහන් තොරතුරු වැදගත් වූ බැවින් තමන් සටහනක් යොදා සිය පහළ නිලධාරින් වු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මෙම තොරතුර යොමුකළ බව සාක්ෂිකරු සදහන් කළා.

කෙසේවෙතත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සදහන් කළේ මෙම ලිපිය බුද්ධි තොරතුරක් ලෙස බොහෝදෙනා ප‍්‍රකාශ කළද, එහි තිබු තොරතුරු දියාරු කිරීම නිසා, එය බුද්ධි තොරතුරක් ලෙස තමන් නොදකින බවයි. අදාළ ලිපියේ ප‍්‍රහාරයක් සිදුවිය හැකි බව සහ සැකකටයුතු පුද්ගලයින්ගේ නම් කිහිපයක් සඳහන්ව තිබුණ ද, ලිපියේ පහතින් දක්වා තිබූ ‘‘මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බැවින්” යන්න සහ ‘‘තවදුරටත් රහසිගතව පරික්ෂණ කරන්න” යනුවෙන් සදහන් වැකිය හරහා මෙම තොරතුරේ ඇති විශ්වසනීයත්වය දියාරුකර ඇති බවයි සාක්ෂිකරු සදහන් කර ඇත්තේ. 

සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයා විසින්  ‘‘For Necessary action’’ යන වචන යෙදීමෙන් මෙම තොරතුරේ වටිනාකම දියාරු කර ඇති බවයි. මෙම බුද්ධි තොරතුරේ තිබු වටිනාකම එවක පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දරට පෙනී ගියේනම් ඔහු කළ යුතුව තිබුණේ, ත‍්‍රස්තවාදය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂයෙන් පිහිටවු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත එම ලිපිය යොමු කිරීම බවද සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා. කෙසේවෙතත් එවක පොලිස්පතිවරයා එවැනි කි‍්‍රයාමාර්ගයක් නොගත් බවද සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළා. 

මේ අතර 2015 වසරේදී ජාතික තවුහිද් ජමාද් සංවිධානය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී රැස්වීමක්ද පවත්වා තිබූ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොමිසම හමුවේ සදහන් කර ඇත්තේ. 

ඊට මුස්ලිම් ප‍්‍රජාව ද විරෝධය එල්ල කළ බව ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් සදහන් කර තිබෙනවා. 

කතෝලික දේවස්ථාන ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වන බව පාස්කු ප‍්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් තමන්ට නිශ්චිත තොරතුරු ලැබුණු බව එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඊයේ අනාවරණයක් ද සිදු කළා. ඒ එම කොමිසම හමුවේ පැය 9කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දෙමින්.