Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයට එරෙහි සටනින් පළමු ජය ලැබූ බව ප‍්‍රංශය කියයි




කොරෝනා වෛරසයට එරෙහි සටනින් පළමු ජය ලැබූ බව ප‍්‍රංශය පවසනවා. ජනාධිපති එමානුවල් මැක්රන් පවසන්නේ මේ හේතුවෙන් අද (15) සිට මෙතෙක් පනවා තිබූ දැඩි සීමා රැසක් ලිහිල් කරන බවයි.

ඒ අනුව රට පුරාම ඇති සියළු අවන්හල් හා ආපන ශාලා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමටයි අවසර ලබාදී ඇත්තේ. යුරෝපයේ සෙසු රටවලට සංචාරය කිරීමේ අවස්ථා ප‍්‍රංශ වැසියන්ට අද සිට උදාවනවා.

එමෙන්ම විශ‍්‍රාමික නිවාසවල සිටින තම පවුලේ සාමාජිකයන් මුණ ගැසීමට ද ඔවුන්ට අද සිට අවස්ථාව උදාවන්නේ මාස ගණනාවකට පසුවයි. පාසල්ද ජූනි 22 වැනිදා සිට විවෘත කිරීමටයි ප‍්‍රංශයේ අවධානය යොමුවී ඇත්තේ. ප‍්‍රංශයේ මෙන්ම යුරෝපයේ බොහෝ රටවල් අද සිට සිය දේශසීමා විවෘත කිරීමට නියමිතයි.

කෙසේවෙතත් ප‍්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කොරෝනා වෛරසය යළි මතුවීමේ අවදානම කිසිසේත්ම අඩුවී නොමැති බවයි. ලොවපුරා දත්ත සැලකීමේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන මුල් රටවල් අතර සිටි ප‍්‍රංශය දැන් සිටින්නේ එහි 13 වන ස්ථානයේයි. 

කෙසේවෙතත් මේ වනවිට ඉන්දියාවේ මෙන්ම ලතින් අමෙරිකානු රටවල තවදුරටත් කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිර යන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාවේ තත්ත්වයද මෙතෙක් වෙනස් වී නැහැ.