Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා රෝගියාට තරු පෙන්වූ අපුරු රෝහල් බිල




නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සුවය ලැබූ පුද්ගලයෙකුට ඩොලර් මිලියන 1.1ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 209,103,646.99) රෝහල් බිලක් ගෙවීමට සිදුවීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. මයිකල් ෆ්ලොර් නම් වූ මෙම 70 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කරනු ලැබුවේ ඉකුත් මාර්තු 04 වෙනිදාය.

වෛරසයෙන් දැඩි ලෙස ආසාධ්‍ය වූ ඔහු එක් අවස්ථාවක මරණයට පවා පත්වනු ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කළ අතර රෝහල් හෙදියක් විසින් වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන ඔහුට සිය බිරිඳට සහ දරුවන්ව අවසාන මොහොතේදී දැක බලා ගැනීම සඳහා අවස්ථාව උදා කර දුන්නේය.

කෙසේ වුවත් ආසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ආ මයිකල් රෝහලෙන් නික්ම ගියේ දින 62 ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මැයි මස 05 වෙනිදාය. 

කොරෝනාව පරාජය කළ 70 හැවිරිදි මයිකල් රෝහලෙන් නික්ම යාමට සුදානම් වූ අවස්ථාවේදී රෝහලේ ගිණුම් අංශය විසින් පිටු 181 කින් සමන්විත රෝහල් බිල ඔහුගේ අතට පත් කරනු ලැබූවා. 

රෝහල් බිලේ මුළු වටිනාකම වුයේ අමෙරිකානු ඩොලර් 1,122,501.04 ලෙසයි. 

දැඩි සත්කාර ඒකකයේ ගත්ජ් කළ දින 42ක කාලය සඳහා දිනකට ඩොලර් 9,736 ලෙස ඇ.ඩොලර් 409,000ක්, හුස්ම ගැනීම පහසු කිරිමේ යන්ත්‍රය භාවිතා කිරිම වෙනුවෙන් දින 29ක් සඳහා ඩොලර් 82,000ක් සහ මරණාසන්නව සිටි දින දෙකක කාලය සඳහා රෝහල් වියදම් ලෙස ඩොලර් ලක්ෂයක් ඊට ඇතුලත් කොට තිබී ඇත.

සිය රක්ෂණ වාරිකය සහ රජය විසින් වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන වෛද්‍ය රක්ෂණය පැවතීම හේතුවෙන් රෝහල් බිල සිය පුද්ගලික මුදලින් පියවීමට අවැසි නොවූ බවයි මයිකල් ෆ්ලොර් සියැටල් ප්‍රාන්ත පුවත් පතට සිය විශ්මය ජනක රෝහල් බිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.