Tuesday, May 14, 2024

General line - 0115112241

අත්යන්ත්‍ර සහ බතික් රෙදි පිළී ආනයනය නතර කිරීමට ජනපතිගෙන් තීරණයක්




අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. අත් යන්ත්‍ර කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ.

රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබුවා.

ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටිය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට ද තීරණය කර තිබෙනවා.

කිහිප දෙනෙක් සතු රෙදි පිළී නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරුණා.

විදේශ රටවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.