Monday, May 13, 2024

General line - 0115112241

පොලිසියෙන් කළු ජාතිකයින්ට වන පීඩා අවම කිරීමට ට‍්‍රම්ප්ගෙන් නියෝගයක්




අමෙරිකානු පොලිස් නිලධාරීන්, කළු ජාතිකයින් ඇතුළු සෙසු පුද්ගලයින්ට සලකන ආකාරය ඉහළ නැංවිය යුතු බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් විධායක නියෝගයකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. මෙම නියෝගය යටතේ පොලිස් නිලධාරීන්ගේ පුහුණුව සහ මානසික තත්ත්වය වැඩිදියුණු කිරීමට නියමිතයි.

මහජනතාව කෙරෙහි පොලිස් බලය යෙදවීමේදී නියමිත ප‍්‍රමිතීන් භාවිත කිරීම කෙරෙහි පොලිස් දෙපාර්තමේන්තුව දිරි ගැන්වීම මේ යටතේ අපේක්ෂා කෙරෙනවා. මින් ඉදිරියට පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම් විස්තර දැඩිව සොයා බලා, පෙර වැරදි වාර්තා නොවූ පුද්ගලයින් පමණක් බඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ නිවාස නොමැති පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවස්ථාවලට සමාජ සේවකයින් ද එක් කරගත යුතු බවට මෙම නියෝගය යටතේ අවධාරණය කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය පුරා වාර්තා වූ ඇතැම් සිදුවීම්වලට මෙම නව නියෝගය මගින් විසඳුම් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි, මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ. ඔහු මෙම නියෝගයට අත්සන් තබන අවස්ථාවට, පොලිසියේ වද හිංසා හේතුවෙන් ඝාතනය වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද එක් කරගැනීමට නියමිතයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙම විධායක නියෝගය පැනවීමේ තීරණය ගෙන ඇත්තේ, සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ට‍්‍රම්ප් ගත් ඇතැම් තීරණ, ඩිමොක‍්‍රටික් පාක්ෂිකයින් විසින් දිගින් - දිගටම විවේචනය කරමින් සිටින පසුබිමකයි. එම ඝාතන සිද්ධියට එරෙහිව ජනතාව කි‍්‍රයාත්මක කළ උද්ඝෝෂණ ව්‍යාපාර මර්දනය කිරීමට ට‍්‍රම්ප් ගත් ඇතැම් පියවර, එළඹෙන ජනාධිපතිවරණයේදී ඔහුට ඉතා අවාසිදායක වනු ඇති බව දේශපාලන විචාරකයින් ද පෙන්වා දී තිබෙනවා. 

කෙසේ වෙතත්, පසුගියදා අමෙරිකාවේ ජෝර්ජියා ප‍්‍රාන්තයේ අගනුවර වන ඇට්ලාන්ටාහිදී පොලිසිය විසින් තවත් කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ට‍්‍රම්ප් විසින් දැඩි විවේචනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.