Monday, May 13, 2024

General line - 0115112241

චීන අගනුවරින් වාර්තා වූ නව කොරෝනා පොකුර එරට නගර රැසක් ආක්‍රමණය කරන ලකුණු




නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් පොකුරු බිහිවීමේ අවධානමක් හේතුවෙන් චීනයේ බිජිං අගනුවර ආශ්‍රිතව සිදුකෙරන පරීක්ෂණ වැඩි කිරිමට එරට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

බීජිං අගනුවර තුළ පමණක් දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය 90,000 දක්වා ඉහළ දැමීමට බලධාරින් විසින් පියවර ගෙන තිබෙනවා.

නගරයේ විශාලතම තොග ආහාර බෙදා හැරිමේ වෙළදපොල වූ Xinfadi ආශ්‍රිතව නිර්මාණය වූ මෙම රෝගීන් පොකුර හේතුවෙන් මේ වන විට චීන අගනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවලක් ක්‍රියාත්මක කොට ඇත. රෝගීන් වාර්තා වූ ප්‍රදේශ 30 ක් සම්පුර්ණයෙන්ම අගුළු දැමීමට චීන බලධාරින් විසින් මේ වන විටත් පියවර ගෙන අවසන්.

බීජිං අගනුවරින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 36 දෙනෙකු හමුවූ අතර සමාජය තුළ සිදුවූ සම්ප්‍රේෂණ නිසා ඇතිවූ නව රෝගී පොකුර නිසා වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 106 ක් වනවා.

ජූනි මස 12 වෙනිදා චීනයේ සමාජය තුලින් සිදුවූ වෛරස් සම්ප්‍රේෂණය වූ රෝගියෙක් වාර්තා වුයේ මාස 02 කට පසුව වීමද විශේෂත්වයක් වනවා. බිජිං නගරයේ මාධ්‍ය ප්‍රකාශක Xu Hejian මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇතිව තිබෙන තත්ත්වය ඉතා භයානක බවයි.

බීජිං නගරයේ ජනගහණය සමග සැසදීමේදී ඇතිවෙමින් පවතින නව රෝගී පොකුර සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුම් දී සිටිනවා.

මේ අතර ප්‍රවාහන බලධාරීන් විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම කුලී ගමන් රථවලට බීජිං නගරයෙන් පිටතට ගමන් යෑම තහනම් කොට තිබෙනවා. සියලුම ගෘහස්ථ ක්‍රීඩා ඉසව් සහ විනෝදාස්වාද ක්‍රියාවන් අත්හිටුවිමටද බිජිං බලධාරින් විසින් පියවර ගෙන ඇත.

බීජිං නගරයේ ඇතිවී තිබෙන රෝගීන් පොකුරට සිචුආන් ප්‍රාන්තයෙන්ද වාර්තා වන කොරෝනා ආසාධිත රෝගියා අතර සම්බන්ධයක් පවතින බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරන්නේ. මේ හේතුවෙන් එම ප්‍රාන්තයේද වෛරසයේ ව්‍යාප්තවීමේ අවධානමක් මතුවී තිබෙනවා.

මේ අතර බීජිං අගනුවර සිට වෙනත් නගර සහ ප්‍රාන්ත වෙත ගමන් කළ සියලුම පුද්ගලයින්ට කොරෝනා වෛද්‍ය පරීක්ෂණය සිදුකර ගන්නා ලෙසට එරට බලධාරින් දැනුම් දී සිටිනවා. එමෙන්ම බිජිං සිට පිට පළාත් වලට ගමන් කළ සියලු පුද්ගලයින්ට තමන්ගේ නගර බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කොට ඇත්තේ.