Tuesday, May 14, 2024

General line - 0115112241

ආර්ථිකය රැක ගන්න මහ බැංකුව පියවර ගැනීම ඉතා වැදගත් - ආර්ථික විද්‍යාඥයන් අදහස් දක්වයි




පවත්නා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා මහ බැංකුව සක‍්‍රීයව දායක වීම වැදගත් වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පවසනවා. 

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප‍්‍රකාශය නිවැරදි බවයි ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප‍්‍රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව, 2020 මාර්තු මස 27 වන දින හඳුන්වා දුන් ප‍්‍රතිමූල්‍යකරණ යෝජනා ක‍්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5 ට අමතර ව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත‍්‍රලාභී වාණිජ බැංකුවලට 1% ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දීමටයි මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ. 

එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යෑම සහතික කරමින් බලපත‍්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති බවයි මහ බැංකුව පවසන්නේ. 

මෙම යෝජනා ක‍්‍රමය සහ දැනට පවතින ප‍්‍රතිමූල්‍ය යෝජනා ක‍්‍රමය මගින් කෝවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150 ක් සැපයෙන බව ද මහ බැංකුව සඳහන් කළා. 

බලපත‍්‍රලාභී වාණිජ බැංකුවල සියලූ‍ රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි 2% ක් දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ද මුදල් මණ්ඩලය තීරණය කළා. 

මහ බැංකුව ගෙන ඇති මෙම තීරණ මගින් වාණිජ බැංකුවලට ණය සැපයීමේ හැකියාව පුළුල් වන බවයි ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පෙන්වා දුන්නේ.