Sunday, May 19, 2024

General line - 0115112241

ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ අවසන් කටයුතු අද




ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ අවසන් කටයුතු අද (18) පස්වරුවේ කළුතර කටුකුරුන්ද පිලිප් නේරි දේවස්ථානයේදී සිදු කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කතෝලික රදගුරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පුෂ්පදේව පියතුමා කියා සිටියේ රටේ පවතින තත්ත්වය අනුව එම කටයුතු සිදු කෙරෙන බවයි.

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ බලවත් සංවේගය පළ කරන බවයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ශෝක පණිවුඩයක දැක්වෙන්නේ. ක‍්‍රිස්තුස් වහන්සේගේ දේශනාවේ හරය විවිධ පැතිකඩ ඔස්සේ සමාජගත කිරීමට වෙහෙසුණු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ නාමය මෙරට කිතුණු ඉතිහාසයේත් සාහිත්‍යයේත් සටහන්ව පවතින බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. දේශීය සිනමාවේ ප‍්‍රගමනය උදෙසා කලා කෘති සමාජගත කිරීමට පමණක් නොව ඒවා ඇගයීම සදහා සිග්නීස් සිනමා සම්මාන උළෙල ඇරඹීමට එතුමන් දැක්වූ දායකත්වය මෙරට සිනමා සාහිත්‍යයෙහි නොමැකී තිබෙනු ඇති බව ද ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන්.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලතින් බසින් සිදු කළ කතෝලික වන්දනා ක‍්‍රමය 1,965 වසරේ සිට සිංහල බසින් පැවැත්වීමට ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. කිතුණු මෙන්ම බෞද්ධයින් අතර ද ජනපි‍්‍රය වී සිටි අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සංස්කෘතික පිළිවෙතක් කතෝලික වන්දනා ක‍්‍රමය සමග මුසු කරමින් කටයුතු කිරීමට විශාල වෙහෙසක් ගෙන කි‍්‍රයා කළ බව ද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. සාමය සහ සංහිදියාවේ ප‍්‍රතිමූර්තියක් වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ ස්වර්ගස්ථවීම රටට දැරිය නොහැකි පාඩුවක් බව ද අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ සදහන්.