Sunday, May 19, 2024

General line - 0115112241

චීනය භාරයේ සිටි ඉන්දීය හමුදා සෙබලුන් 10ක් නිදහස් කර ඇතැයි වාර්තා




චීනය භාරයේ සිටි ඉන්දියානු හමුදා සෙබළුන් 10 දෙනෙකු චීනය මගින් නිදහස් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. ඒ, දෙපාර්ශ්වය අතර වර්ධනය වී ඇති ගැටුම්කාරී පසුබිම තුළයි.

එලෙස නිදහස් කෙරුණු ඉන්දියානු හමුදා සෙබළුන් පිරිස අතර ලූතිනන් කර්නල්වරයෙක් සහ මේජර්වරුන් තිදෙනෙකු ද වන බව සඳහන්.

කෙසේවෙතත් ඉන්දීය රජය මගින් මෙතෙක් ඒ බව නිල වශයෙන් සඳහන් කර නොමැති බවත්, සිය සෙබළුන් පිරිසක් අතුරුදන්ව ඇති බව හෝ ඉන්දීය බලධාරීන් අනාවරණ කර නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දියාව පවසන්නේ චීන හමුදා සෙබළුන් සමග ඉකුත් දා පැවැති ගැටුම් හමුවේ සිය හමුදා සාමාජිකයින් 76 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. 

හිමාල කඳුකරය ආශ‍්‍රිතව පිහිටි මතභේදාත්මක ගැල්වාන් නිම්නයේ අක්සායි චීන ලඩාක් ප‍්‍රදේශයේදී ඉකුත් දා ඉන්දු චීන හමුදා අතර ගැටුම් හටගත්තේ ඉන්දීය හමුදා සෙබළුන් 20 දෙනෙකුට ජීවිත අහිමි කරමින්. ගැටුම් හමුවේ චීන හමුදාවේ ද සෙබළුන් 45 දෙනෙකු පමණ තුවාල ලබා හෝ ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා පළ වුවත්, චීනය මෙතෙක් ඒ බව තහවුරු කර නැහැ.