Sunday, May 19, 2024

General line - 0115112241

ඉංගී‍්‍රසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාවට - දහම් පාසල් ගැනත් තීරණ කිහිපයක් - ජනපති කියයි




පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා රාජ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඉංගී‍්‍රසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම, පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දියයුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (18) රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටලූ සහ වත්මන් තත්ත්වය මෙහිදී බෞද්ධ උපදේශක සභාව විසින් ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. පිරිවෙන් විෂය නිර්දේශයේ සහ විෂය මාලාවේ සංශෝධනයක් වියයුතු බව එම සාකච්ඡාවට එක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. 

සිසුු පරපුර දහම් පාසල් අධ්‍යාපනයට, වැඩි වශයෙන් යොමුකර දහම් පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදිය යුතුයි. ඉරිදා දිනවල පෙරවරු 06.00 සිට පස්වරු 02.00 දක්වා මෙන්ම පොහොය දිනවල ද උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ආගමික පසුබිම කෙරෙහි දරුවන් යොමු කිරීම යහපත් සමාජයක් උදෙසා කළ යුතු මහගු කාර්යයක් බවයි මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර ඇත්තේ. 

මත්ද්‍රව්‍ය භාවිත කිරීම ඇතුළු අනිසි කි‍්‍රයාවලට තරුණ දරුවන් නැඹුරුවීමේ ප‍්‍රවණතාවක් පවතිනවා. එබැවින් පස්වරු 05.00 න් පසු උපකාරක පන්ති පැවැත්වීම නතර කර මව්පියන් ඇසුරේ දරුවන් රඳවා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බවයි මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දී ඇත්තේ.

පිරිවෙන් කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව ද ඊයේ පැවැති මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා. උපාධිධාරී භික්ෂූන් වහන්සේ සහ ධර්මාචාර්ය විභාගය සමත් දසසිල් මාතාවන්, පාසල්වල බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමට යොදාගත යුතු බවයි මහා සංඝරත්නය ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර ඇත්තේ. 

මේ අතර පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට කාර්යය සාධක බලකායක් පත්කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙහිදී ජනාධිපතිවරයාට ප‍්‍රශංසාව පළ කර තිබෙනවා. රටේ සමස්ථ කාර්යය භාර්යය අතට ගෙන ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට ජන සමාජයෙන් හිමිවන ප‍්‍රසාදය බෞද්ධ උපදේශක සභාවට ද ගෞරවයක් බවයි මහා සංඝරත්නය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.