Sunday, May 19, 2024

General line - 0115112241

උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ ඉරානය සිදුකළ මිසයිල අත්හදා බැලිම (PHOTOS / VIDEO)




ඉරානය විසින් නවතම කෘස් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරානය සිය නාවික යුධ අභ්‍යාසයක් අතර වාරයේදී මෙම මිසයිල අත්හදා බැලීම සිදුකොට ඇත්තේ උතුරු ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව බවයි එරට රාජ්‍ය මාධ්‍ය පවසා සිටියේ.

ගොඩබිම සිට එල්ල කරන ලද එම මිසයිලය කිලෝමීටර් 280ක් දුරින් පිහිටි මුහුදේ තිබු හිස් නෞකාවක් විනාශ කරන දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

සිය අත්හදා බැලීමෙන් අනතුරුව ඉරානය පවසා සිටියේ සිය මිසයිලයට ඊට වඩා දුරින් පිහිටි ඉලක්කයක් කරා හඹා යාමේ හැකියාව ඇති බවයි. කෙසේ වුවත් මිසයිලය යා හැකිසැබෑ දුර කොපමණද යන්න ගැන ඔවුන් හෙළිකර සිටියේ නැහැ.

මෙම මිසයිලයට සතුරු ඉලක්ක හඹා ගොස් විනාශ කිරිමේ හැකියාව ඇති බවයි සාර්ථක අත්හදා බැලීමේ ක්‍රියාවලියෙන් පසු ඉරාන නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් හුසේන් කහාන්සාදී ප්‍රකාශ කර සිටියේ.

" අපට තිබෙන්නේ ඉලක්කය පෙන්නා දීලා බොත්තම ඔබන්න පමණයි. එතැනින් පසු එයා ඉලක්කය හඹා යනවා" ඉරාන නාවික හමුදා ප්‍රධානියා සඳහන් කර සිටියා.

පර්සියන් ගල්ෆ් මුහුදු කලාපයේ දී අමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේදාත්මක සිදුවීම් රැසක් පසුගිය සති කිහිපයේදී වාර්තා වූ අතර මෙය ඉරානය විසින් අමෙරිකාවට සිදුකළ අනතුරු ඇඟවීමක් බවයි යුධ විශේෂඥයින් සඳහන් කරන්නේ.