Sunday, May 19, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් : චීනයේ වැඩක්දැයි සැකයක්




විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින් විදේශ රාජ්‍යයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටිනවා.

මාස කිහිපයක සිට මෙම සයිබර් ප්‍රහාරය දියත් වූ බවත් මෑතක සිට එම තත්ත්වයේ වැඩි වීමක් සිදුව ඇති බව පැවසූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එය විදෙස් රටක සිට ක්‍රියාත්මක වන බවද සඳහන් කර සිටියා.

මෙම සයිබර් ප්‍රහාරයට වගකිව යුතු රට කුමක්ද යනුවෙන් සඳහන් නොකළ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එවැනි හැකියාවක් ඇත්තේ ලොව රටවල් වලින් අතලොස්සකට බව කියා සිටියා.

සයිබර් විශේෂඥයෙකු වන නික් සැව්වීඩිස් ප්‍රකාශ කර සිටියේ එවැනි ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති හැකියාව සහිත රටවල් 10ක් හෝ 15ක් සිටින බවයි. ඒ අතරට චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව වැනි රටවල්ද සිටින බවයි ඔහු කියා සිටියේ.

යුධමය අවස්ථාවකදී ඕස්ට්‍රේලියානු රජයේ ක්‍රමවේදය අකර්මන්‍ය කිරිම සහ එරට වාණිජ තොරතුරු අත්පත් කර ගැනීම මෙම සයිබර් ප්‍රහාරයේ අරමුණ වන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඕස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂක පීටර් ජෙනිංස් කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය චීනයෙන් එල්ල වූ එකක් බවට තමන්ට විශ්වාස බවයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනය මිට පෙර ඕස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන භාණ්ඩ සඳහා අධික බදු පැනවීමක් සිදුකරනු ලැබුවා.