Tuesday, May 14, 2024

General line - 0115112241

සජිත් පිරිස රැස් කර දැඩිව උපදෙස් දෙයි




මැතිවරණ වේදිකාවේදී අදහස් පළ කිරීමේදී දැඩි සුපරික්‍ෂාකාරීව කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස සිය සන්ධානයේ සියළු පාර්ශ්වයන් වෙත තරයේ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ (22) රාති‍්‍රයේ පැවති සමගි ජන බලවේගයේ විශේෂ සාකච්ඡාවකදීයි. අගරදගුරු හිමියන්ට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද එහිදී දැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

සජිත් පේ‍්‍රමදාස හිටපු මන්තී‍්‍රවරයා එම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී ද තම පාර්ශවයේ ඇතැම් පිරිස් වගකීම් විරහිතව සිදුකළ ඇතැම් ප‍්‍රකාශ හේතුවෙන් අවාසියක් සිදුවූ බවයි.

එමෙන්ම ආගමික නායකයින් ඇතුළු සමාජයේ වැදගත් පුද්ගලයින් ඉලක්ක කර ප‍්‍රකාශ සිදුකිරීමේදී දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි සජිත් පේ‍්‍රමදාස හිටපු මන්තී‍්‍රවරයා සමගි ජන බලවේගයේ සියළු පාර්ශ්ව වෙත තරයේ උපදෙස් ලබාදී ඇත්තේ.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධානයක තිස්ස අත්තනායක සඳහන් කළේ පොදු මතයක පිහිටා අදහස් පළ කරන ලෙස සියළු පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි.

අදාළ ප‍්‍රකාශය සිදුකිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් ඒ පිළිබද කරුණු විමසීමට සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස කටයුතු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කළා.

අගරදගුරු හිමියන් පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දුගේ වගකීම් රහිත චෝදනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බව ශී‍්‍ර ලංකා කතෝලික සභාව ද ඊයේ (22) ප‍්‍රකාශ කළා. කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ පදනම් විරහිත විවේචන තරයේ හෙළා දකින බවයි.