Thursday, May 16, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් 'මීගමුවට' නොදන්වා එයි




නෙත් එෆ්.එම්. බැලූම්ගල ඊයේ (23) කළ අනාවරණයෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මීගමුව බන්ධනාගාරයේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

මීගමුව බන්ධනාගාරය තුළ සහ ඒ හරහා සිදුවන විවිධ අපරාධ පිළිබද බැලූම්ගල වැඩසටහනෙන් ඊයේ  අනාවරණ කළා. ඒ අනුව ඊයේ පස්වරුවේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ නිලධාරීන් පිරිස මීගමුව බන්ධනාගාරයට පවා නොදන්වා එහි ගොස් තිබීම විශේෂත්වයක්. 

එහිදී රැදවියන් සිටින වාට්ටු නිරීක්‍ෂණය කළ එම පිරිස, බන්ධනාගාර නිලධාරීන් සමගද සාකච්ඡා කර තිබෙනවා. එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නිලධාරීන්ට පවසා ඇත්තේ ඉකුත් දිනවල සිදුවූ සිදුවීම්වලින් බන්ධනාගාරයට සිදුවූ අපකීර්තිය වෙනස් කිරීම සදහා සියළු නිලධාරීන් නිසි ලෙස රාජකාරී කළයුතු බවයි.

මෙම හදිසි නිරීක්‍ෂණ චාරිකාවට බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් බුද්ධි හා මෙහෙයුම් තුසිත උඩුවර සහ බන්ධනාගාර බුද්ධි අංශයේ සහකාර බන්ධනාගාර අධිකාරී ප‍්‍රසාද් පේ‍්‍රමතිලකද එක්ව තිබෙනවා. 

මීගමුව බන්ධනාගාරය තුළ සාමාන්‍යයෙන් රැදවිය හැකි රැුවියන් සංඛ්‍යාව 500 කට ආසන්නයි. එහෙත් මේ වනවිට එහි රැදවියන් 2,000 කට වැඩි පිරිසක් රදවා සිටින බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

මේ අතර ඉකුත් සමයේ අනාවරණ කර ගැණුනු බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාර ආශි‍්‍රතව සිදුව ඇති බැවින් බන්ධනාගාර පද්ධතිය ප‍්‍රතිසංස්කරණයකට ලක් විය යුතු බව පොලිස් මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත පවසනවා.

අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා බස්නාහිර පළාතේ කලාප 7 ක් සහ දකුණු පළාතේ කලාප 4 ක් තෝරාගෙන මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පැවසුවේ.

බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ කි‍්‍රයාත්මක අපරාධ කල්ලි 17 ක් පිළිබද තොරතුරු දැනටමත් අනාවරණ කර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
 

(ඊයේ ප්‍රචාරය වූ බැලුම්ගල වැඩසටහන පහතින්)