Thursday, May 16, 2024

General line - 0115112241

පාඨලීගේ රිය අනතුර නඩුව ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

අධිකරණ වාර්තාකරු




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට  සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ලෙසට කටයුතු කළ සුදත් අස්මඩලට එරෙහිව වෙන වෙනම මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කොට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

අද දින මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී  සිල්වා ඉදිරියේ කැඳවන ලදි.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙනවා.

රිය අනතුර සිදුවූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා එම රථය පැදවූ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදී සාක්ෂිකරුවන්ගේ කටඋත්තර සටහන් කර ගැනීමේදී පාඨලී රණවකගේ  නම ඉවත් කොට ඒ වෙනුවට ඔහුගේ රියදුරුගේ නම ඇතුළත් කරන ලෙස හිටපු ස්ථානාධිපතිවරයා විසින් වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් සිදුකර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා.

මේ වන විට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නඩුවේ පළමු සැකකරු ලෙසට  සහ ඔහුගේ  රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තා නඩුවේ දෙවන සැකකරු ලෙසට නම් කර තිබෙනවා. ඔවුන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.