Wednesday, May 15, 2024

General line - 0115112241

ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්




2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් ලබාදී තිබෙනවා. 

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70කි.  2017 වසර වන විට  ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු වූ අතර  2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලබා තිබෙනවා.

තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු සොයා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්වය විමසුමට අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා. 

1998 වසරේදි පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත්වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF ආයතනය) යටතට ගනු ලැබුවා. පසුව සමාගමේ ප්‍රාග්ධනයෙන් 90% ක් ETF ආයතනය ද, 10% ක් සේවකයන් ද හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් විය.

ETF ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉදිරි මාස 06ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නැයි ප්‍රකාශ කර් සිටියා.

ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළයුතු බවත්  2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා. පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග තමාට අවශ්‍ය බව ජනාධිපතිතුමා කියා සිටියේ.