Thursday, May 16, 2024

General line - 0115112241

යහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබලා : ලැබු ඩොලර් මිලියන 10 ක ප්‍රදානයන් ගැන ගිණුම් විස්තර පවා නැහැ - MCC කමිටුව ජනපතිට කරුණු හෙළි කරයි 




පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවත් ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොමැති බව MCC ගිවිසුම පිලිබඳ සාමාලෝචන කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ප්‍රකාශ කර සිටිනවා.

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම කමිටුව විසින් භාර දුන් අතර එහිදී ඉහත කරුණ සම්බන්ධයෙන් මහචාර්ය ලලිතසිරි ගුණරුවන් ප්‍රකාශ කර සිටියා.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු කේෂ්ත්‍රිය ආවරණයක් කර නැති බවද මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වාදෙනු ලැබුවා.

නිත්‍යානුකුලව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට ඉඩම් කොමසාරිස්වරයා විසින් පැහැදිලි කර ඇත.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බවද කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියා. 

නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය උල්ළංඝනය කිරීමක් වනවා. නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බවද මෙහිදී කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පෙන්වා දෙනු ලැබුවා.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ අතර එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඕව්හු සඳහන් කර සිටියා.

සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.