Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා නිසා ගෙන්වා ගත් ලාංකිකයින්ට ගුවන් තොටුපොළේදී මග හැරුණු "ඩියුටි ෆ්‍රී" භාණ්ඩ මිලදී ගන්න යලි අවස්ථාවක්

ටී.කේ.ජී.කපිල




කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ප්‍රකාශ කර සිටිනවා.

මේ ආකාරයට මේ වනවිට විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 13,000 ක තරම් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් , ඒ වනවිට පැවති තත්වයන් යටතේ ඔවුන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබූ බවයි සභාපතිවරයා කියා සිටියේ.

දිනකට 100 බැගින් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් කැදවා ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංසංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඔවුන්ට උදා කර දෙන බව ද සභාපතිවරයා සඳහන් කර සිටියේ.

මෙම වැඩසටහන ගුවන් තොටුපළ බලධාරීන්, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සංවිධානය කරන වැඩසටහනක් බවත් එසේ මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මේ සදහා තම නීරෝධායන කටයුතු නිමා කළ බවට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන සහතිකය ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු තවත් ලිපි ලේඛන කීපයක් ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ගුවන් තොටුපළ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් මේ පිළිබඳව සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ඉදිරි දින කීපය ඇතුළත ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බවයි ගුවන් තොටුපොළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.