Friday, May 10, 2024

General line - 0115112241

ගතවූ පැය 100 තුලදී ලොවපුරා කොරෝනා රෝගීන් ලක්ෂ 10ක් වාර්තා වෙයි : මරණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවයි




පසුගිය පැය 100 ක කාලය තුලදී කොරෝනා ආසාදිතයින් මිලියනයක් වාර්තා වී ඇති අතර ඒ සමග ගෝලීය කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 14 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14,215,828ක් වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 600,039ක් වනවා.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් පසුගිය ජනවාරි මාසයේදී පළමු රෝගීයා වාර්තා වීමෙන් පසු රෝගීන් මිලියනයක්‌ වාර්තා වීම සඳහා මාස 03ක කාලයක් ගතවිය. කෙසේ වුවත් මිලියන 13 සිට මිලියන 14ක් වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ගතව ඇත්තේ දින 04 ක කාලයක් පමණක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

ගතවූ පැය 24 තුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්තා වී ඇති සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 237,743ක්. එය දිනක් තුලදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වසරකට වඩා වයසින් යුත් බිලිඳුන් 85 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. ගතවූ පැය 24 තුලදී එරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 67,165ක් වනවා.

මේ අතර අගෝස්තු මස 08 වෙනිදා වන විට අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 157,000ක් වනු ඇති බව එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුමාන කර සිටින්නේ. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 142,065ක් වේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ද කොරෝනා ආසාදිත රෝගීන් 217 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 206 දෙනෙකුට වෛරසය ආසාදනය වුයේ කෙසේද යන්න මේ දක්වා හෙළිව නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.