Friday, May 3, 2024

General line - 0115112241

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි




ගිරිඋල්ල, යකාබැඳිඇල්ල ප‍්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. 

පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිරිඋල්ල, කොහිලවල ප‍්‍රදේශයේ දී රියදුරු බැඳ දමා මෝටර් රථයක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසියට දුරකථන පණිවුඩයක් ලැබී තිබුණේ ඊයේ රාති‍්‍රයේයි. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මාර්ග බාධක සහ වාහන සෝදිසි කිරීම් ආරම්භ කර අද අළුයම මෝටර් රථ පරීක්‍ෂා කළා. 

එහිදී පන්නල දෙස සිට ගිරිඋල්ල දෙසට ගමන් කරමින් තිබු මෝටර් රථයක් යකාබැඳිඇල්ල ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. 

එහිදී මෝටර් රථය නතර කිරීමට සංඥා කළද එය අණ නොතකා ඉදිරියට ධාවනය කර තිබුණා. එම අවස්ථාවේයි පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයට වෙඩි තැබීමක් සිදුකර ඇත්තේ. එහිදී මෝටර් රථයේ ටයර්වලට හානි සිදුවී ඇති අතර රථය ඉදිරියට ගොස් නැවතී තිබෙනවා. 

පසුව මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගිරිඋල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ.