Friday, May 3, 2024

General line - 0115112241

ත‍්‍රස්තවාදයෙන් සහ මත් ජාවාරමෙන් උපයන දේපළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙල අද සිට ඇරඹේ




ත‍්‍රස්තවාදී කටයුතුවලින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සදහා විශේෂ ඒකකයක් අද (20) සිට ස්ථාපිත කෙරෙනවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්‍ෂණය යටතේයි. පොලීසිය මගින් සිදුකරන විමර්ශනවලදී අනාවරණ වන සැකකරුවන් සහ ඔවුන් සම්බන්ධ බැංකු ගිණුම් පිළිබද වැඩිදුර විමර්ශනය කිරීම මෙම ඒකකයේ ප‍්‍රධාන අරමුණක්.

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මධ්‍යසාර ජාවාරමේ නිරත වන පුද්ගලයින් ඇතුළු විවිධ අපරාධ කල්ලි සාමාජිකයින් නීතිවිරෝධීව උපයාගෙන ඇති වත්කම් පිළිබද විමර්ශනය කිරීමද තවත් අරමුණක් වනවා. බුද්ධිමය දේපළ පිළිබද විශේෂ වැරදි විමර්ශනයද නව ඒකකය හරහා සිදු කිරීමට නියමිතයි. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළේ මෙලෙස නීතිවිරෝධිව උපයාගත් මුදල් මෙන්ම දේපළද රාජසන්තක කිරීම සදහා මෙමගින් හැකියාව ලැබෙන බවයි.

මෙම නව විමර්ශන ඒකකය උප ඒකක 7 කින් සමන්විත වනවා. බන්ධනාගාරගත රැදවියන් නීතිවිරෝධිව ජංගම දුරකතන භාවිත කරමින් සිදුකරන අපරාධ විමර්ශනය එහි එක් ඒකකයකට පැවරෙන වගකීමක්. 

නීතිවිරෝධීව පරිගණක දත්ත සොරා ගැනීම, ජංගම  දුරකතන භාවිත කරමින් නීතිවිරෝධීව මුදල් ගණුදෙනු සිදු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් අත්පත් කර ගැනීම හා තොරතුරු රැස් කර ගැනීම වැනි කරුණු මුල් කර ගනිමින් වෙන වෙනම ඒකක පිහිටුවා තිබෙනවා.

මෙම ඒකකයේ කටයුතු ඉදිරියේදී සිදුවන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා. 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාලය හදුනා ගැනීම සහ ඒවා අඩපන කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි.

බස්නාහිර පළාත තුළ පමණක් අපරාධ කල්ලි 25 ක සාමාජිකයින් 388 ක් සකී‍්‍රයව සිටින බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් දිගින් දිගටම පරීක්‍ෂා කිරීම හේතුවෙන් ඔවුන්ගේ මුදල් ගණුදෙනු සිදු කිරීම විශ්ව විද්‍යාල සිසුන්ගේ ගිණුම් හරහා සිදු කිරීමේ සැලසුමක්ද හෙළි වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.