Thursday, May 9, 2024

General line - 0115112241

කොරෝනා පාලනය කළ රටවල් 15ක් නම් කරමින් හරිත ලයිස්තුවක්




යුරෝපීය රටවල් 15 ක සිට පැමිණෙන සංචාරකයින්, දින 14 ක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට අයර්ලන්තය තීරණය කර තිබෙනවා. 

ඒ, එම රටවලින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන අයර්ලන්තයේ මෙන්ම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන්. ඒ අනුව ඉතාලිය, මෝල්ටාව, ෆින්ලන්තය, නෝර්වේ, හංගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව, එලෙස නිරෝධායනයෙන් නිදහස් වන රටවල් අතරට ඇතුළත්.

එමෙන්ම, සයිප‍්‍රස්, ග‍්‍රීන්ලන්තය, ග‍්‍රීසිය, ස්ලෝවැකියාව, මොනාකෝ සහ සැන් මරිනෝ යන රටවල සිට පැමිණෙන සංචාරකයින් ද අයර්ලන්තයේදී දෙසතියක නිරෝධායනයෙන් නිදහස් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය දින 14 ක කාලය තුළ සෑම පුද්ගලයින් ලක්ෂයක් තුළින් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකුට අඩු ගණනක් වාර්තා වූ යුරෝපා සංගමයට අයත් රටවල් 15 ක්, අයර්ලන්තය විසින් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

හරිත ලැයිස්තුව ලෙස හඳුන්වන මෙම රටවල් ලැයිස්තුව, අයර්ලන්තයේ මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි ඉදිරියේදී තවදුරටත් යාවත්කාලීන කිරිමට නියමිතයි.

කෙසේ වෙතත්, අසල්වැසි බි‍්‍රතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල සිට අයර්ලන්තයට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාව කි‍්‍රයාත්මක වනවා.