Thursday, May 9, 2024

General line - 0115112241

ආදාඋල්පත බුද්ධසාර හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට යයි




1987 වර්ෂයේ සිදු වූ අරන්තලාව භික්ෂු ඝාතන සිද්ධියේදී බරපතළ තුවාල ලබා දිවි බේරා ගත් පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන නොවැම්බර් මස 12 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. 

ඒ, එම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි. අරන්තලාව භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින  ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි පෙත්සම ගොනු කළ ආදාඋල්පත බුද්ධසාර හිමියන් ඉල්ලා සිටින්නේ. 

මීට අමතරව රුපියල් මිලියන 20 ක වන්දි මුදලක් ද පෙත්සම්කරු විසින් ඉල්ලා තිබෙනවා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක්.

පෙත්සම අද කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ, පෙත්සමට අදාළව පොලිසියේ උපදෙස් අද උදෑසන ලැබුණු බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. 

ඒ අනුව වග උත්තරකරුවන්ගේ විරෝධතා සැප්තැම්බර් මස 30 වනදා වන විට ගොනු කරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.