Saturday, May 18, 2024

General line - 0115112241

ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාවට ශානි අබේසේකර 7 දක්වා රිමාන්ඩ්




කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කෙරුණා. 

ඒ, ඔහු ඊයේ රාති‍්‍රයේ ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ උදෑසන 07 ට පමණ අත්අඩංගුවට ගැනුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 08 ක පමණ කාලයක් ප‍්‍රශ්න කළා. 

ඉන් අනතුරුවයි ඊයේ රාති‍්‍රයේ ඔහු ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ.

2013 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. 

ඒ, ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේයි. එම සිද්ධියට අදාළ ගිනි අවි ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබුණා.

එහෙත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, ආයුධ සොයාගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින්, මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බව ප‍්‍රකාශ කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ, ශානි අබේසේකර විසින් අදාළ ස්ථානයට ගිනි අවි ගෙනවිත් දමා ඒවා එම ස්ථානයෙන් සොයාගත් බවට අසත්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බව එහිදී අනාවරණ වී ඇති බවයි.