Sunday, May 19, 2024

General line - 0115112241

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් - අවසන් ජන රැළි සඳහා සියල්ල සුදානම්




2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා. 

ඒ අනුව මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා ඉතිරිව ඇත්තේ තවත් පැය පහක පමණ කාලයක්. ඉන්පසුව කි‍්‍රයාත්මක නිහඬ කාලය තුළ අපේක්ෂකයින් ප‍්‍රවර්ධනය කිරීමේ කිසිදු කටයුත්තක් සිදු කිරීම තහනම් වන බවයි  මැතිවරණ කොමිසම නිවේදනය කළේ. 

ප‍්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් - ගෙට යාම, අත්පති‍්‍රකා බෙදීම, නිවේදිත ශාඛා කාර්යයාලවල ප‍්‍රචාරණ පුවරු ප‍්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම් සහ බැනර් ප‍්‍රදර්ශනය කිරීම, නිහඬ කාල සීමාව තුළ සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

මේ අතර, මහමැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වන අවසන් ජන රැළි තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළි මාලාව අද හම්බන්තොට නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළිය තංගල්ල නගරයේදී ආරම්භ වීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වන එම පක්ෂයේ අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ මරදාන සුදුවැල්ල ප‍්‍රදේශයේදීයි. කොළඹ අලූත්කඬේ උසාවිය අසලදී, සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වන අවසන් ජන රැළිය පැවැත්වෙනවා. 

ජාතික ජන බලවේගයේ අවසන් ජන රැළිය පක්ෂ නායක කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් රාතී‍්‍ර 07 ට කොළඹ අලූත්කඬේ ජුම්මා මස්ජිද් වීදිය අසලදී පැවැත්වීමට නියමිතයි.