Monday, May 20, 2024

General line - 0115112241

මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න




මෙවර මහ මැතිවරණයෙන් මන්තී‍්‍ර ආසන 145 ක් දිනා ගනිමින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. 

ශී‍්‍ර  ලංකා පොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව 6,853,690 ක්. එහි ප‍්‍රතිශතය සියයට 59.09 ක් වනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන මට්ටමින් මන්ති‍්‍ර ආසන 128 ක් හිමිවූ අතර ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 17 ක්. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයෙන් ජය ගන්නේ සමගි ජනබලවේගයට වඩා වැඩි ඡන්ද 4,081,710 කින්. 

සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන 54 ක් දිනාගෙන ඇත්තේ ඡන්ද 2,771,980 ක්ද සමගයි. එහි ප‍්‍රතිශතය සියයට 23.90 ක්. සමගි ජනබලවේගයට ආසන මට්ටමින් මන්ති‍්‍ර ආසන 47 ක් හිමිවූ අතර ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 07 ක්. 

ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ලැබූ 5,564,239 ඡන්ද සංඛ්‍යාවට වඩා ඔහු නායකත්වය දැරූ සමගි ජනබලවේගයට මෙවර මැතිවරණයේදී ඡන්ද 27,292,259 ක් අඩුවී තිබෙනවා. 

මෙවර මහ මැතිවරණයේ 03 වන ස්ථානය හිමිව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජාතික ජනබලවේගයටයි. මන්තී‍්‍ර ආසන 03 ක් සමග ඔවුන්ට හිමි ඡන්ද සංඛ්‍යාව 445,958 ක් වන අතර එහි ප‍්‍රතිශතය සියයට 3.84 ක්. 

ජාතික ජනබලවේගයට ආසන මට්ටමින් මන්ති‍්‍ර ආසන 02 ක් හිමිවූ අතර ජාතික ලැයිස්තුවෙන් එක් මන්තී‍්‍ර ආසනයක් හිමිවුණා.  මීට පෙර පැවැති 2015 මැතිවරණයේදී ඔවුන්ට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන 06 ක් හිමිව තිබූ අතර එය මෙවර 03 කින්  අඩුවීම කැපී පෙනෙන සිද්ධියක්.

මෙවර මහ මැතිවරණයේ 04 වන ස්ථානය හිමිව ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂටයි. මන්තී‍්‍ර ආසන 10 ක් සමග ඔවුන්ට හිමි ඡුන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ 27,168 ක් වන අතර එහි ප‍්‍රතිශතය සියයට 2.8 2 ක්. ඉලංකෙයි තමිල් අරසු පක්ෂට ආසන මට්ටමින් මන්ති‍්‍ර ආසන 09 ක් හිමිවූ අතර ජාතික ලැයිස්තුවෙන් එක් මන්තී‍්‍ර ආසනයක් හිමිවුණා. 

මීට පෙර පැවැති 2015 මැතිවරණයේදී ඔවුන්ට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන 16 ක් හිමිව තිබූ අතර එය මෙවර 06 කින් අඩු වී තිබෙනවා.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය පමණයි. ඔවුන්ට ආසන මට්ටමින් කිසිඳු මන්තී‍්‍ර ධුරයක් හිමිවූයේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට හිමි ඡුන්ද සංඛ්‍යාව දෙලක්ෂ 49,435 ක් වන අතර එහි ප‍්‍රතිශතය සියයට 2.15 ක්. 

එක්සත් ජාතික පක්‍ෂය 2015 මහ මැතිවරණයේදී මන්තී‍්‍ර ආසන 106 ක් දිනා ගැනීමට සමත්ව තිබුණා. ඒ, ඡන්ද 5,098,916 ක් ලබා ගනිමින්. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්‍ෂය මෙවර ලබාගත් ඡුන්ද සංඛ්‍යාවේ එකතුව, 2015 වසරේ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ලැබූ ඡුන්ද සංඛ්‍යාවට හෝ ළඟාවීමට නොහැකිවීම කැපී පෙනෙනවා. 

මෙවර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද ප‍්‍රමාණයේ එකතුව 3,021,415 ක්.

මෙවර මහ මැතිවරණයේදී අහිල ඉංකෙයි තමිල් කොංග‍්‍රසයට ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් ද සමග මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රධූර 02 ක් හිමිව තිබෙනවා.

කොඩිය ලකුණින් මෙවර මහ මැතිවරණයට පළමුවරට ඉදිරිපත්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නායකත්වය දරණ අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් හිමිව තිබීම විශේෂත්වයක්. 

තමිල් මක්කල් විදුතෙලෙයි පුලිකල්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කුට්ටානි, සමස්ථ ලංකා මක්කල් කොංග‍්‍රසය, ජාතික කොංග‍්‍රසය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට එක් මන්තී‍්‍ර අසුනක් බැගින් හිමිව තිබෙනවා.  

ඊපීඞීපී පක්ෂයට මෙවර මන්තී‍්‍ර ආසන 02 ක් හිමි වුණා. ඉකුත් පාර්ලිමේන්තුවේදී ඔවුන්ට හිමිවූයේ එක් මන්තී‍්‍ර ආසනයක් පමණයි. 

මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් තරග වැදුනු අතර ඒ අතරින් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් හෝ දිනාගනිමින් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමට හැකිවී ඇත්තේ දේශපාලන පක්ෂ 15 කට පමණයි. 

මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ති‍්‍රක් 22 න් දිස්ති‍්‍රක්ක 18 ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය දිනාගත් දිස්ති‍්‍රක්ක සංඛ්‍යාව 3 ක්.

සමගි ජන බලවේගය දිනාගත්තේ එක් දිස්ති‍්‍රක්කයක් පමණයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කළ දිස්ති‍්‍රක්ක වනවා. 

යාපනය, වන්නි, සහ මඩකලපුව යන දිස්ති‍්‍රක්ක ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය ජයගත්තා. සමගි ජන බලවේගය ජය ගත්තේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය පමණයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ති‍්‍රක්කයේ මන්තී‍්‍ර ආසන 12 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසන 6 ක් දිනාගත්තා.

ජාතික ජන බලවේගයට කොළඹ දිස්ති‍්‍රක්කයෙන් හිමි වූයේ එක් මන්තී‍්‍ර ආසනයක් පමණයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 13 ක් දිනා ගැනීමට සමත් වුණා. සමගි ජන බලවේගයට එම දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 4 ක් හිමි වූ අතර ජාතික ජන බලවේගයට එම දිස්ති‍්‍රක්කයෙන් හිමි වූයේ එක් මන්තී‍්‍ර ආසනයක් පමණයි.

කළුතර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 8 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය එම දිස්ති‍්‍රක්කයෙන් දිනාගෙන ඇත්තේ මන්තී‍්‍ර ආසන 2 ක් පමණයි. 

මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර ආසන 8 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසන 4 ක් දිනා ගත්තා.

මාතලේ දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනාගත් මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 4 ක්. සමගි ජන බලවේගය එම දිස්ති‍්‍රක්කයෙන් දිනාගත්තේ එක් මන්තී‍්‍ර ආසනයක් පමණයි. නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර ආසන 5 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසන 3 ක් දිනා ගැනීමට සමත් වුණා.

ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර ආසන 7 ක් දිනාගෙන තිබෙනවා. සමගි ජන බලවේගය ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් දිනාගෙන ඇත්තේ එක් මන්තී‍්‍ර ආසනයක් පමණයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 6 ක් සහ සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසනයක් දිනාගෙන තිබෙනවා.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර ආසන 6 ක් දිනා ගනිද්දී සමගි ජන බලවේගය දිනා ගත්තේ එක් මන්තී‍්‍ර ආසනයක් පමණයි.

දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර ධුර 3 ක් දිනාගත්තා. එම දිස්ත‍්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවූ මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 2 ක්. දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසනයක් දිනා ගැනීමට ජාතික කොංග‍්‍රසය සමත් වුණා.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර ආසන 11 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසන 4 ක් දිනාගත්තා. 

පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට මන්තී‍්‍ර ආසන 5 ක් හිමි වූ අතර සමගි ජන බලවේගය හිමි කර ගත්තේ මන්තී‍්‍ර ආසන දෙකක් පමණයි. අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 7 ක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනාගත් අතර සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසන 2 ක් දිනාගත්තා. 

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමිවූ මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 4 ක්. සමගි ජන බලවේගය එම දිස්ති‍්‍රක්කයෙන් එක් මන්තී‍්‍ර ආසනයක් දිනාගත්තා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 6 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය එම දිස්ති‍්‍රක්කයෙන් දිනාගත්තේ මන්තී‍්‍ර ආසන 3 ක් පමණයි.

මොණරාගල දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනාගත් මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 5 ක්. එම දිස්ති‍්‍රක්කයෙන් සමගි ජන බලවේගයට හිමිවූයේ එ ක් මන්තී‍්‍ර ආසනයක් පමණයි.  ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 8 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය මන්තී‍්‍ර ආසන 3 ක් දිනාගත්තා.

කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්තී‍්‍ර ආසන 7 ක් දිනාගත් අතර සමගි ජන බලවේගය දිනාගත්තේ එම දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 2 ක් පමණයි. සමගි ජන බලවේගය ජයග‍්‍රහණය කළ එකම දිස්ති‍්‍රක්කය වූ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයෙන් මන්තී‍්‍ර ආසන 2 ක් දිනාගත්තා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහ ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂයට එම දිස්ති‍්‍රක්කයෙන් එක් මන්තී‍්‍ර ආසනය බැගින් හිමි වුණා. 

යාපනය දිස්ති‍්‍රක්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය මන්තී‍්‍ර ආසන 3 ක් දිනාගත් අතර ඊ පී ඞී පී සංවිධානය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසය එම දිස්ති‍්‍රක්කයෙන් එක් මන්තී‍්‍ර ආසනය බැගින් දිනා ගත්තා. 

වන්නි දිස්ති‍්‍රක්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය මන්තී‍්‍ර ආසන 3 ක් දිනාගත් අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙමුණ, සමගි ජන බලවේගය සහ ඊ පී ඞී පී සංවිධානය එක් මන්තී‍්‍ර ආසනය බැගින් දිනාගැනීමට සමත් වුණා.

මඩකලපුව දිස්ති‍්‍රක්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු පක්‍ෂය මන්තී‍්‍ර ආසන 2 ක් දිනාගත් අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ටී එම් වී පී පක්‍ෂය එක් මන්තී‍්‍ර ආසනය බැගින් දිනාගත්තා.