Monday, May 20, 2024

General line - 0115112241

බදුර්දීන් ගේ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි 

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා  සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ තමන් අත් අඩංගුවට ගැනීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධතා ඉදිරිපත් කරමින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පවසා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංකීර්ණ පරීක්ෂණයක් පවත්වන බවත් මේ වන විට සියයකට අධික සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන බවයි. ඒ අනුව සියලු පරීක්ෂණ නීතියට අනූව සිදු කරන බවත් මෙම පෙත්සම්කරුගේ ඉල්ලීම් ලබා දුනහොත් ඉදිරි පරීක්ෂණ වලට බාධා විය හැකි බව  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියා .

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.

තමා අත්අඩංගුවට ගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙසට හිටපු ඇමතිවරයා සිය පෙත්සමෙන් ඉල්ලා සිටියා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තමාගේ කිසිදු  සම්බන්ධයක් නැති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින්  මීට පෙර ප්‍රකාශ කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි. සිය පෙත්සම මගින් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබා දෙන ලෙස ද හිටපු අමාත්‍යවරයා ඉල්ලා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, එහි අධ්‍යක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපති මෙහි වගඋත්තර කරුවන් ලෙසට නම් කර ඇත.