Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා මැද අමෙරිකාවේ ගිනි ඇවිලෙයි - සහය දෙන්නැයි ඔස්ටේ‍්‍රලියාවට ඉල්ලීම් (PHOTOS)




කැලිෆෝනියා ප‍්‍රාන්තය තුළ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාව මේවනවිට තවත් අර්බුධයකට මුහුණ පා සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ ලැව්ගිනි හේතුවෙන් මේවනවිටත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ලැව්ගිනි පාලනය සඳහා ගිනිනිවීමේ භටයින් 12,000 ක් පමණ කැඳවා ඇතැයි කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ගෙවින් නිව්සම් ප‍්‍රකාශ කළා.

කැලිෆෝනියාවට ආසන්න වෙනත් ප‍්‍රාන්තවලින් ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සහය හිමිවුනත්, වර්ධනය වෙමින් ඇති ගිනිජාලා මගින් ප‍්‍රාන්තයේ ඇති ස්වභාවික සම්පත් මෙන්ම ජනතාව සතු වත්කම් ද විනාශ කරමින් සිටින බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ. මේවනවිටත් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි වැසියන් එක්ලක්ෂ 75,000 ක් පමණ සිය වාසස්ථාන අතහැර ආරක්ෂිත ස්ථාන වෙත පළාගොස් අවසන්. ලැව්ගිනි පාලන යසඳහා එක්ව සිටි ගිනිනිවන භටයින් 43 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි සිය ගණනක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. තවත් නිවාස සහ ගොඩනැගිලි රැසක් පවතින්නේ අවදානම් තත්ත්වයේයි. 

කැලිෆෝනියා ප‍්‍රාන්තයට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හා ඒ හමුවේ බලපාන අකුණු තත්ත්වයන් මෙම ලැව්ගිනි සඳහා හේතුවී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. පවතින තත්ත්වය හමුවේ ප‍්‍රාන්තය තුල ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කරන ලෙස ද තමන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළ බව ද කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කළා. 

ලැව්ගිනි පාලනය සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් ද සහය ඉල්ලා ඇති බවයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගෙවින් නිව්සම් පැවසුවේ.