Friday, May 3, 2024

General line - 0115112241

මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීම ගැන යළිත් පැහැදිළි කරයි




දිවයිනට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ වන විට විශේෂ ගුවන් යානා යොදා ගනිමින් විදෙස් ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ව සිදු කෙරෙන බවයි ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක නෙත් නිවුස් වෙත පැවසුවේ.

අපනයන භාණ්ඩ ගුවන් මගින් ප‍්‍රවාහනය කරන අතරතුර කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ හරහා එම ගුවන් යානා යොදා ගනිමින් විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කෙරෙනවා.

මත්තල ගුවන් තොටුපොළේ පවතින අඩුපාඩු සොයා බලා ඊට ක‍්‍රියාමාර්ග ගැනීම සදහා හෙට (24) දිනයේ එම ගුවන් තොටුපොළේ නිරීක්ෂණයක නිරත වීමට නියමිත බවයි ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව මාලදිවයින තුල සිරවී පීඩාවට පත්ව සිටින ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳවද නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. 

නෙත් නිවුස් අමතමින් ඔවුන් සදහන් කළේ රැකියා අහිමිවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවයි. එබැවින් තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසයි ඔවුන් මෙහිදී රජයෙන් ඉල්ලීමක් කළේ.

මාලදිවයිනේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රැකියා අහිමිවී සිටින මෙම පිරිස නොසලකා හැර ඇති බවට ද මෙහිදී චෝදනාවක් එල්ල කෙරුණා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ සදහන් කළේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විවිධ රටවල පීඩාවට පත්ව සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල දැනටමත් කඩිනම් කර ඇති බවයි.