Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් දරුවන් බේරා ගන්න අලූත් උපදෙස් මාලාවක්




වැඩිහිටියන් සේම දරුවන්ද මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. බොහෝ අවස්ථාවලදී වැඩිහිටියන් සමාජයේ ගැවසෙන විට මුඛ ආවරණ පැළඳ සිටිනු දැකගත හැකි වුවද දරුවන්ට මුඛ ආවරණ පළඳින ආකාරයක් දැකගත හැකි වන්නේ නැහැ.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම මාර්ගෝපදේශනයට අනුව වැඩිහිටියන් සමාජයේ ගැවසෙන ප‍්‍රදේශවලදී වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ද මුඛ ආවරණ පැළදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

එමෙන්ම එක් එක් රටවල් විසින් සහ එක් එක් ප‍්‍රදේශ ආශි‍්‍රතව ප‍්‍රකාශයට පත් කර ඇති විශේෂ සෞඛ්‍ය නිර්දේශවලටද දරුවන් අනුකූල කළ යුතු බවයි අවධාරණය කර ඇත්තේ. මුඛ ආවරණ පැළඳීම මෙන්ම ඒවා ඉවත් කිරීමද වැඩිහිටියන්ගේ අධීක්‍ෂණය යටතේ සිදු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයස අවුරුදු 5 හෝ ඊට අඩු ළමුන් සදහා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවයි.

දරුවන්ට වෛරසය ආසාදනයවීමට හැකි සම්භාවිතාව සම්බන්ධයෙන් නිශ්චිත කරුණු වාර්තා නොවුණද නව යොවුන් වියේ පසුවන පිරිස් වෙත වෛරසය ආසාදනයවීමේ සම්භාවිතාවක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ අනුවයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නවතම මාර්ගෝපදේශ ප‍්‍රකාශයට පත් කර ඇත්තේ.