Friday, May 3, 2024

General line - 0115112241

රට පනින්න හැදූ පාතාලයේ 4 ක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට




පාතාල කල්ලි සාමාජික ගමගේ සාරංග ප‍්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොල මගී පර්යන්තයේදීයි. ආරක්‍ෂක අංශ, පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා සිදුකරන මෙහෙයුම් හමුවේ සැකකරුවන් ඩුබායි බලා පලා යාමටයි තැත් කර ඇත්තේ.

ඒ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

මෝදර, රොක් හවුස් පටුමගේ පදිංචි වැල්ලේ සාරාංග, විදේශයන්හි සිට මෙරටට කේරළ ගංජා රැගෙන එන ප‍්‍රධාන ජාවාරම්කරුවෙකුද වන බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වන කතලූව ලියනගේ බුද්ධික සංජීව වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්‍ෂ 29 ක මුදලක් ද සමගින්. හංවැල්ල ප‍්‍රදේශයේ රාජ්‍ය බැංකු කොල්ලයේ සැකකරු වන තාබ්දීන් මොහොමඞ් සුබීර් නමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.

ඔවුන් දෙදෙනාම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් වනවා. අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරු වන රණසිංහ ආරච්චිගේ ඉෂාර ලක්මාල් විදේශයන්හි සිට මෙරටට කේරළ ගංජා රැගෙන එන ප‍්‍රධාන ජාවාරම්කරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ”අංගොඩ ලොක්කා”ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වු චමින්ද එදිරිසූරිය නොහොත් ”චමියා” නමැත්තා පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් ඊයේ රාත‍්‍රී 11ට පමණ ජීවිතක්‍ෂයට පත් වුණා. ඒ, ගම්පහ, ඔරුතොට ප‍්‍රදේශයේ දී පොලීසියට වෙඩි තබා පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය කළ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමත් සමගයි.

ඔහු සම්බන්ධ හෙරොයින් ජාවාරමක තොරතුරු හෙළි කිරීම සඳහා කිසියම් ස්ථානයකට පොලිස් නිල රථයකින් රැගෙන යමින් සිටියදී රථයෙන් පිටතට බැසීමට අවශ්‍ය බව පවසා පොලිස් නිලධාරියෙකු සතුව තිබූ තුවක්කුවක් උදුරාගෙන සැකකරු එම පොලිස් නිලධාරියාට වෙඩි තබා තිබෙනවා. එහිදී පොලීසිය එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් ඔහු ජීවිතක්‍ෂයට පත් වූ අතර එහිදී සිදු වූ වෙඩි හුවමාරුව හේතුවෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු තුවාල ලැබුවා.

මේ අතර ගංජා මිශ‍්‍ර මාවා කිලෝ 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දෙහිවල  ඕපන් පෙදෙස, ධීවර නිවසවල පදිංචිකරුවකු වනවා.