Friday, May 3, 2024

General line - 0115112241

ක්ෂුද්‍ර මූල්‍ය ණය පොලී අඩු කිරීමට ආණ්ඩුවේ අවධානය




ග‍්‍රාමීය හා අර්ධ නාගරික ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ, එම ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයින් දීර්ඝ කාලීනව මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබද අවධානය යොමු කරමින්.

ඒ අනුව එවැනි ණය දෙන ආයතනවල ක‍්‍රියාකාරීත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. මෙම කරුණු අනාවරණ වුයේ අලූතින් පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාර්ය පිළිබඳ විමසා බැලෙන නෙත් නිවුස් විශේෂාංග මාලාව යටතේ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග සිදු කළ සංවාදයේදීයි. 

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කලේ කිසි ලෙසකින් හෝ මෙවැනි ක්ෂුද‍්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන වසා දැමීමට කටයුතු නොකරන බවයි. ඒවා විධිමත් ලෙස රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ක්ෂුද‍්‍ර මූල්‍ය ආයතන හරහා ලබා දෙන ණය වෙනුවෙන් අය කරන අධික පොලිය අඩුකිරීමට ද ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගත් ජනතාව මේ වනවිට මුහුණපා සිටින දැඩි ගැටළුකාරී තත්ත්වයට කඩිනමින් විසදුමක් ලබා දීමට ද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ නෙත් නිවුස් වෙත සඳහන් කළා.

සමෘද්ධි සහනාධාරය ලබන පවුල් ඉලක්ක කර ගනිමින්ද ඉදිරියේදී නව වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නංවන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.