Friday, May 3, 2024

General line - 0115112241

විදුලි බිඳ වැටීම ගැන සෙවූ කමිටු වාර්තාව අද කැබිනට් මණ්ඩලයට




ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන්ගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කර තිබුණා.

විදුලි බිඳ වැටීම සිදුවූ දිනට පසුදිනම මෙම කමිටුව රැස්වී ඊට අදාල හේතු සොයා බැලීම ආරම්භ කලා.

ඉකුත් දින කිහිපයේම කමිටු සාමාජිකයින් එම විදුලි බිදවැටීමේ සිදධියට බලපා ඇති හේතු සාධක සම්බන්ධයෙන් සියලූ කරුණු විමසා බලා වාර්තාව සකස් කල බවයි විදුලිිබල අමාත්‍යාංශය පැවසුවේ.

එම අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධනද අදාළ කමිටුවේ සාමාජිකයෙක්. ඒ අනුව අදාල වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ඔහුගෙන් විමසීමක් කලා.

එහිදී ඔහු සඳහන් කළේ අදාළ වාර්තාව හරහා ඇතිව තිබූ ගැටලුව පිළිබඳව සම්පූර්ණ සොයා බැලීමක් සිදු කර ඇති බවයි.

විදුලිබල අමාත්‍යංශය සඳහන් කලේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (25) දිනයේදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ විශේෂ විමර්ශනයට ලක් කෙරුණු බවයි. ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ඉකුත් 24වනදා විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දුන්නා. 

කෙරවලපිටියේ බලාගාරයට යාබද ප‍්‍රධාන විදුලි උපපොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉකුත් 17 වැනිදා දහවල් ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටුණා. එය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට ගත වූ කාලය පැය 8 ක්. 

ඒ සමඟම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ද සම්පූර්ණයෙන් අක‍්‍රිය වු අතර එයින් ජාතික පද්ධතියට ලබාදුන් විදුලි ධාරිතාව ද අහිමි වුණා. ඒ අනුව කලාප 4කට බෙදා රටපුරා විදුලිය කප්පාදු කිරීමටයි විදුලිබල අමාත්‍යාංශය පියවර ගත්තේ.