Tuesday, May 7, 2024

General line - 0115112241

මුදල් අමාත්‍යාංශයෙන් මෝටර් රථ අලෙවිකරුවන් සහ වාහන ආනයනකරුවන් දැනුවත් කරයි




සහනදායි පදනම මත නිකුත් කර ඇති මෝටර් රථ බලපත්‍ර හිමියන්ට මෙරට මෝටර් රථ අලෙවිසල්කරුවන්ගෙන් වාහන මිලදී ගැනීම සදහා රජය ලබාදුන් සහනය කි‍්‍රයාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෝටර් රථ අලෙවිකරුවන් සහ වාහන ආනයනකරුවන් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යංශය සූදානම් වනවා.

ඇතැම් මෝටර් රථ අලෙවිකරුවන් හා ආනයනකරුවන් ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ආර්. ආටිගල නෙත් නිවුස් කළ විමසුමකදී කියා සිටියේ.  

මෙතෙක් භාවිත කර නොමැති බදු සහන සහිත මෝටර් රථ බලපත‍්‍ර හිමියන්ට බලයලත් වාහන අලෙවි නියෝජිතයෙකු හෝ ශී‍්‍ර ලංකාව තුල ලියාපදිංචි ආනයනයකරුවෙකු වෙත එම බලපත‍්‍රය ලබා දී එහි සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කර, මෝටර් රථ මිලදී ගැනීමට මුදල් අමාත්‍යංශය අවසර ලබාදුන්නා. ඒ, ඉකුත් 28 වන දින සිටයි. වාහන ආනයනය නතර කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. 

කෙසේවෙතත්, මෙම තීරණය ප‍්‍රායෝගික නොවන බවයි ඇතැම් මෝටර් රථ අලෙවිකරුවන් පැවසුවේ. ඔවුන් පෙන්වා දුන්නේ මෙම තීරණයෙන් තමන්ට පාඩු සිදුවන බවයි.  

කෙසේවෙතත් මුදල් අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණයත් සමග ඇතැම් වාහන අලෙවිකරුවන් මෝටර් රථ මිල ගණන් ඉහළ දමා ඇති බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ. ඒ සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමුකළ යුතු බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවා. 

ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ආර්. ආටිගලගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙම තීරණය මගින් වාහන අලෙවිකරුවන්ට හෝ ආනයනකරුවන්ට කිසිදු පාඩුවක් සිදු නොවන බවයි. 

සහනදායී මෝටර් රථ බලපත‍්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කර වෙළෙදපොළ මිලට අලෙවිකරනු ලබන මෝටර් රථ සදහා ආනයනකරුවන්ට සහ අලෙවිකරුවන්ට ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාළ බලපත‍්‍රයේ සදහන් බදු සහනය ලබාදීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.