Saturday, April 27, 2024

General line - 0115112241

ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරම්කරුවන් ගැන ජනතාවට පණිවිඩයක්




සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකර මුදල් වංචා සිදු කරන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

විවිධ පාර්ශවයන්ගෙන් ලැබී ඇති පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට දැන්වීම් පළ කර මුදල් වංචා සිදුකරන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ බැංකොක් හි පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පැමිණිල්ලක් සිදුකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

එමෙන්ම මෝටර් රථ දිනුම් ඇදීමක් ලැබී ඇති බවට පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව සහ ලොතරැයි දිනුම් ඇදීම් ලැබී ඇති බවට පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳවද පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා.

ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ වන නාඳුනන පුද්ගලයින් විසින් එවනු ලබන ත්‍යාග, රේගුවෙන් නිදහස් කර ගැනිමට බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනිම පිළිබඳව සහ ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සිදුකරන විවාහ යෝජනාවලට හසුවී මුදල් වංචා කිරිම් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මෙවැනි මුදල් වංචා කිරිමේ සිද්ධීන්වලට හසුවීමෙන් වලකින ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.