Monday, May 13, 2024

General line - 0115112241

විදෙස් විශේෂඥයින්ට ගිනි ගත් නෞකාව නිරීක්ෂණය කරන්න බැරි වෙයි




නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව හේතුවෙන් මෙරට සාගර කලාපයට සිදුවූ බලපෑම් සහ එම සිද්ධියේදී ශී‍්‍ර ලංකා රජයට සිදුවූ අලාභය සහ වියදම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.

එම විශේෂඥ කමිටුව අද (07) රාති‍්‍රයේ හෝ හෙට (08) උදෑසන කාලය තුළ, නෞකාව පවතින ස්ථානයට ගොස් අදාළ නිරීක්ෂණයන් සිදු කිරීමට නියමිත බවයි ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර කියා සිටියේ.

අදාළ සිද්ධිය හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදුවූ හානි සහ ශී‍්‍ර ලංකා රජයට දැරීමට සිදුවූ වියදම් හා අලාභය සම්බන්ධයෙන් පූර්ණ ඇස්තමේන්තුවක් සිදුකර තක්සේරු වාර්තාවක් පිළියෙල කරන ලෙස නීතිපතිවරයා විසින් ඊයේ උපදෙස් ලබා දුන්නා.

ඒ, MT නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න පාලනය ඇතුළු මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදුන් ආයතනවල නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීයි. අදාළ වාර්තාව සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කෙරුණේ ද ඒ අනුවයි. 

මේ වනවිට MT නිව් ඩයමන්ඞ් නෞකාව දිවයිනට නැගෙනහිරින් නාවික සැතපුම් 29 ක් දුරින් පවතිනවා. කෙසේවෙතත්, ඊයේ දිනයේදී නාවික සැතපුම් 33 ක් දුරින් මෙම නෞකාව පැවතියා. 

මෙම නෞකාවේ හටගෙන තිබූ ගින්න ඊයේ දිනයේදී සම්පුර්ණයෙන් නිවා දමා තිබුණත්, ඊයේ (06) රාති‍්‍රයේ යළිත් නෞකාව තුළ සුළු ගිනි ගැනීම් තත්ත්ව 02 ක් වාර්තා වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.

එම ගිනිගැනීම් තත්ත්වයන් ද මේවනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. 

නෞකාව පිළිබඳ සොයා බැලීම සඳහා 11 දෙනෙකුගෙන් සමන්විත තවත් විදේශීය විදේශඥයින් කණ්ඩායමක් ඊයේ රාති‍්‍රයේ මත්තල ගුවන් තොටුපළට පැමිණියා. PCR පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එම විශේෂඥයින් පිරිස කල්මුණේ ප‍්‍රදේශයට ගමන් කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ. 

මේ අතර MT නිව් ඩයමන්ඞ් නෞකාව පිළිබඳ සොයා බැලීම සඳහා මීටපෙර මෙරටට පැමිණි විදේශීය විශේෂඥයින් පිරිස නාවික හමුදාවට අයත් ඩෝරා යාත‍්‍රාවක තවදුරටත් රැඳී සිටින බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. මේවනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් MT නිව් ඩයමන්ඞ් නෞකාව ආසන්නයට ගමන් කිරීමට නොහැකිව ඔවුන් මෙලෙස එම ඩෝරා යාත‍්‍රාව තුළ රැඳී සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.