Friday, May 17, 2024

General line - 0115112241

ගිනිගත් ඉන්ධන නෞකාව ශී‍්‍ර ලංකාවෙන් තවත් ඈතට




ගින්නක් හටගත් එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව තවදුරටත් ශී‍්‍ර ලංකාවෙන් ඈතට රැගෙන යමින් ඇතැයි ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියාසිටියේ මේ වනවිට නෞකාව ශී‍්‍ර ලංකාවෙන් මුහුදු සැතපුම් 50 ක් ඈතට රැගෙන ගොස් ඇති බවයි.

එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ සිට කිලෝමීටර 04 ක් පමණ දුරට පැතිර ඇති ඉන්ධන පැල්ලම සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ ඞීසල් නොවන තාර වැනි ඝන තෙල් විශේෂයක් මෙහිදී විසිර ඇති බවයි. කෙසේවෙතත් එම ඉන්ධන වර්ගය තහවුරු කරගැනීම සඳහා පර්යේෂණාගාර වාර්තාවක් ලබාගැනීමටයි නියමිතව ඇත්තේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර කියාසිටියේ ඉකුත් දින දෙකේදී අවස්ථා දෙකක දී නෞකාව ආශ‍්‍රිත මුහුදේ ඉන්ධන පැල්ලම් නිරීක්ෂණය කළ බවයි. පෙරේදා මතුව තිබූ ඉන්ධන පැල්ලම රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කර දැමීමට පියවර ගැණුනා.

කිමිඳුම්කරුවන් යොදා අදාළ ඉන්ධන පැල්ලම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. කෙසේවෙතත් නෞකාවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. දැන් සිදු කෙරෙන්නේ ටග් යාත‍්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමයි.