Friday, May 3, 2024

General line - 0115112241

පොල් මිල තවමත් අහස උසට - වටප‍්‍රමාණයේ නීතියට ඇමතිගේත් විරෝධය




පොල් සදහා පාලන මිලක් පැනවුවද තවමත් වෙළද පොළේ පාලන මිලට පොල් අළෙවි නොවන බවට නෙත් නිවුස් කළ වෙළද පොල සංචාරයේදී දැකගත හැකි වුණා. එහිදී දැක ගත හැකි වූයේ රුපියල් 70 ත් රුපියල් 90ත් අතර මිල ගණන්වලට පොල් අළෙවි වන බවයි. කෙසේවෙතත් පාලන මිලට පොල් අළෙවි කරන වෙළද සැල්ද මෙහිදී දැකගත හැකි වුණා. නෙත් නිවුස් ඇමතූ ශ‍්‍රාවකයින්ද පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක මිල තවමත් රුපියල් සියයක මට්ටමේ පවතින බවයි. චක‍්‍රලේඛ පැනවුවද ප‍්‍රායෝගිකව වෙළද පොලේ එම තත්ත්වය දැකිය නොහැකි බවයි පාරිභෝගිකයින් පැවසුවේ.

පොල් ගෙඩියේ වටප‍්‍රමාණය අනුව මිල ගණන් 03 ක් යටතේ පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික සේවා අධිකාරිය ඉකුත් සෙනසුරාදා කටයුතු කළා. කෙසේවෙතත් විපක්‍ෂයේ දේශපාලනඥයින් මෙන්ම ජනතාව ද වටප‍්‍රමාණයට මිල තීරණය කිරීම ගැන තවදුරටත් එල්ල කරමින් සිටින්නේ දැඩි විරෝධයක්. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොල් වගා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දුගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම ක‍්‍රමය තමන් ද අනුමත නොකරන බවයි.

පොල් මිල කි‍්‍රයාත්මකවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ද විමසීමක් කළා. එහි අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර සදහන් කළේ වැඩි මිලට පොල් අළෙවි කරන්නන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකළ බවයි. ඊයේ දිනයේ ද වැඩි මිලට පොල් අළෙවි කළ ව්‍යාපාරික ස්ථාන 59 කට එරෙහිව පියවර ගත් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ගත වූ දින දෙක තුළ පමණක් වැඩි මිලට පොල් අළෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 115 ක් සිදුකර තිබෙනවා.