Friday, May 3, 2024

General line - 0115112241

වාහන මිල ගැන ආණ්ඩුව තීරණයක් ගනී




ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇතැයි වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බැවින් ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදීත් අඩු නොකෙරෙනු ඇති බවයි. 

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග වාහන අලෙවිකරුවන් සහ ඒ ආශ‍්‍රිත කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළුව පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වාහන ආනයනකරුවන් සඳහන් කළේ කර්මාන්තයට සම්බන්ධ ඍජු හා වක‍්‍ර රැකියා රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි.  මේ, ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සඳහන් කළේ රටේ මුදල් විදෙස් රටවලට ගලා යාම වැළැක්වීමේ අරමුණින් වාහන ආනයනය නතර කිරීමට තීරණය කළ බවයි. රට තුළ කිසිඳු වාහන හිගයක් නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

කෙසේවෙතත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසුවේ රටතුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම තුළ ද ගැටළු රැසක් පවතින බවයි.  

රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම සඳහා සහ ඒ වෙනුවෙන් වූ කොන්දේසි හේතුවෙන් රටට වාසියක් සිදුවන බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම ඊට ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ. 

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග වෙළඳපල තුළ තිබූ වාහන සීග‍්‍රයෙන් අලෙවි වූ බවයි වාහන ආනයනකරුවන් පැවසුවේ. මේවනවිට වෙළඳපලේ වාහන මිල ගණන් ද පැවතිය යුතු මට්ටමටත් වඩා ඉහළ අගයක පවතින බව ඔවුන් පෙන්වා දෙනවා. කෙසේවෙතත්, වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ වාහන ආනයනික තහනම දීර්ඝ කාලයක් නොපවතිනු ඇති බවයි. 

කෙසේවෙතත්, තහනම ඉවත් කෙරෙන දිනය මෙතෙක් ප‍්‍රකාශයට පත්කළ නොහැකි බවත්, එය කඩිනමින් ඉවත් නොකෙරෙනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.