Friday, May 3, 2024

General line - 0115112241

තැපැල් සේවාවේ අධික පාඩුවට විසඳුම් සොයා දීර්ඝ සාකච්ඡා




තැපැල් සේවාව වාර්ෂිකව රුපියල් බිලියන 06 ක පාඩුවක් ලබන බව අනාවරණ වී තිබෙනවා. වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 08 කට අධිකයි. කෙසේවෙතත්, වියදම රුපියල් බිලියන 14 ක්.

වැටුප් හා අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව අධික පාඩුවක් ලබන බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම කරුණු හෙළිවුණේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ, ජනාධිපති කාර්යාලයේදී ඊයේ (29) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක‍්‍රම හරහා තැපෑල ලාභ ලබන තත්ත්වයකට පත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමුකර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගත හොත්, ශ‍්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු වියහැකි බවයි.

ශ‍්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්ක වෙත පහසුවෙන් ලගාවිය හැකි බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. 

දිවයිනේ දිස්ති‍්‍රක් රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක ආකර්ශනීය ස්ථාන බවට පත් කිරීමටත්, කොළඹ කොටුවේ පිිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රකිමින් නවීකරණය කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. 

මේ අතර ජනමාධ්‍යවේදීන්ගේ වාත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇති බවයි මෙම සාකච්ඡාවේදී ප‍්‍රකාශ වී ඇත්තේ. එමෙන්ම, පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.